ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබූ බව වාර්තා වෙනවා.
ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර ඉන්ධන නෞකාවක් ද අද උදෑසන දිවයිනට පැමිණ තිබුණු බව වාර්තා වෙනවා.
මේ අතර ඊයේ (17) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බවය.
ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.
ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
“අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්‍රෝ සමාගම ආනයනය කරන්නේ. ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා.
සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ.
ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි.”
