යුද්ධය අපේ වෙරළට ළඟා වී තිබෙනවා… නාමල් රාජපක්ෂ ඉන්දියාවේ WION නාලිකාවට කියයි

ගෝලීය ප්‍රජාව සොලවන කැළඹිලි සහිත තත්ත්වයත් සමඟ යුද්ධය අපගේ වෙරළට (ඉන්දියානු සාගර කලාපයට) ද ළඟා වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ WION නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබෙනවා.

මැද පෙරදිග කලාපය පවතින යුද ගැටුම් ඉන්දියානු සාගර කලාපයට සිදු කර ඇති බලපෑම විග්‍රහ කරමින් ගෝලීය පද්ධතිය පෙර නොවූ විශාල පරිවර්තනයකට ලක් වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ගෝලීය ආර්ථික පසුබිම තුළ ඉන්දියානු සාගරයේ වැදගත්කම පෙන්වා දුන් ඔහු මෙම කලාපය කිසිදා ගැටුම් පැවහි කලාපයක් නොවන බවත් එය ශිෂ්ටාචාර අතර පාලමක් වූ බවත් සඳහන් කර තිබෙනවා.

ඔහු එහිදී පවසන්නේ එය සමාජ බෙදීමට වඩා ඒවා සම්බන්ධ කළ අතර දැන් ඉන්දියානු සාගරය ලෝකයේ වැදගත්ම ආර්ථික මහාමාර්ගවලින් එකක් බවට පත්ව ඇති බවයි.

සිය ප්‍රධාන දේශනය අතරතුර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පැරණි සම්බන්ධතාවය ගැන ද ඔහු සඳහන් කළ බවයි WION පවසන්නේ.

“වසර 2,000 කට පෙර බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියා. එම ගමන දර්ශනය පැතිරීම පමණක් අරමුණු කරගත්තක් නොවේ. එය අදටත් අපේ සමාජය හැඩගස්වන ගැඹුරු ශිෂ්ටාචාර සම්බන්ධතාවයක ආරම්භයයි. වෙළඳ මාර්ග අපගේ වරායන් සම්බන්ධ කරනවා. සංස්කෘතික හුවමාරුව අපගේ සම්ප්‍රදායන් හැඩගස්වා තිබෙනවා. සියවස් ගණනාවක් පුරා, අපගේ ජනතාව ඉන්දියානු සාගර කලාපයේ ශක්තිමත්ම සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තා. ”

ලෝකයේ ඉතාමත් වැදගත් ආර්ථික ගමන් මාර්ගය තර්ජනයට ලක් වූ විට එහි ප්‍රතිවිපාක මුළු ලෝකයටම දැනෙනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇති බවයි WION සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම ආර්ථික බලවතෙකු ලෙස නැගී එන ඉන්දියාවට මෙම කලාපය ස්ථායි කරන ප්‍රධාන බලවේගයක් විය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

Latest News

error: Content is protected !!