අද සිට QR නොමැතිව තෙල් නැහැ..

කුමන හදිසි අවශ්‍යතාවයක් ඇති වුවද QR කේතය නොමැතිව අද සිට ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ජනතාවට දැනුම් දී තිබෙනවා.

එබැවින් QR කේතය සම්බන්ධයෙන් ජනතාවට පැන නැගී ඇති ගැටලු විසඳාගෙන අද සිට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙස එම සංගමයේ සභාපති, කුමාර් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (18) සඳහන් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් 1919 දුරකථන අංකයට ඇමතුමක් ලබා දී එය විසඳා ගන්නා ලෙස ද ඔහු පවසා තිබෙනවා.

“QR කේතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම්, 1919 දුරකථන අංකයට කතා කරලා, එම ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉන්ධන පිරවුම්හලට එන්න. අපි ඊයේ පෙරේදා යම් යම් සහන දුන්නා QR කේත නැතුව ඉන්ධන නිකුත් කරන්න. නමුත් දැන් නම් QR කේතයට පමණයි ඉන්ධන නිකුත් කරන්නේ. හදිසි අවශ්‍යතාවයක් වුණොත් අපිට කරන්න දෙයක් නෑ. වෙන අයෙකුගේ වාහනයක ඒ හදිසි අවශ්‍යතාවයට යන්න කියලා කියනවා.”

එහෙත් මේ වන විටත් එම කේතය ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් බොහෝ දෙනෙකු තවමත් සිටින බවයි වාර්තා වන්නේ. ඇතැම් අය සමාජ මාධ්‍ය ඔස්සේ මැසිවිලි නගා තිබුණේ 1919 දුරකථන අංකයට ඇමතුම් ලබා දුන්නද එය නිවැරදිව ලබා ගැනීමට නොහැකි වූ බවකි.

Latest News

error: Content is protected !!