බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරු පත් හැදුවේ මේ තත්ත්වයන් දුටු නිසා..
මැද පෙරදිග කලාපයේ මතු වී ඇති තත්ත්වය හා ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව වර්තමාන ආණ්ඩුවට කිසිදු අවබෝධයක් නැති අතර අර්බුදය කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පවසා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලය ගැනීමට පෙර කියූ කතා සහ මේ වන විට කියමින් සිටින කතා අනුව දෛවයේ සරදම හොඳින්ම දිස්වන බව යි ඔහු සඳහන් කරන්නේ.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් රටට ආදායම් ලැබෙන ප්‍රධානම ක්‍රමවේදය වන විදේශ ප්‍රේෂණ අඩුවන අතරම අනෙක් පසින් රටට වැඩිම සංචාරකයින් පැමිණෙන මාර්ගය වන ඩුබායිවල දොරටු වැසී ගොස් ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (කජු කන සියා) රාජ්‍ය භාණ්ඩාගාරයේ ඉතිරි කර ගිය ඩොලර් බිලියන 6ක මුදල 6.8 දක්වා වැඩි වුවත් ජ්‍යාත්‍යන්තර මූල්‍ය ඈරමුදලේ ගිවිසුම්වලට අනුව එම මුදල් තෙල් මිලදී ගැනීම සඳාහා යොදා ගත නොහැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩි දුරටත් මෙසේ ද කියා සිටියා.
ආර්ථිකයේ කඩා වැටීමක් වෙනවා නම් ඊට එතුමා වගකිවයුතු නැති බවත් වගකිව යුත්තේ ලෝක යුද්ධය බවත් ජනාධිපති දිගින් දිගටම කියනවා.
ලංකාවේ ඒ කාලේ වහල්ලු කියල සෙට් එකක් හිටියා. දැන් ඉන්නේ අමු ගොං මී පට්ටියක්. ඕනම දෙයක් විශ්වාස කරන තීක්ෂණ බුද්ධියක් නැති පිරිසක් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැති බව අප මුල සිටම පැවසුවා. මේ ආණ්ඩුව හොරකම් කරලා නැතිලු. හොරකම් කරලා නැත්තේ වැඩ කරලා නැති නිසා. මොවුන් යම්කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ කරපු පළවෙනිම දේ නාලා තියෙනවා.
ආණ්ඩු කොහොමත් අභියෝග වලට මුහුණ දෙන්න ඕන තමයි. ආණ්ඩුවට ඉස්සෙල්ලම ආපු අභියෝගය දිට්වා කුණාටුවයි. තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා ආරම්භ කරපු ඒ කතන්දරේ අද මොන තරම් විහිලුවක් බවට පත්වෙලා තියෙනවද?
මුලින්ම නැව් පෝලිමට තියනවා කිව්වා. දැන් අහවල් දවසේ නැවක් එනවා වගේ කතා කියනවා. ගෑස් ගෙන්වා ගැනීමේදි නාගන්නවා. කිව්.ආර් කෝඩ් එකේදී නාගන්නවා. තෙල් ඇතිවෙන්න තියෙනවා නම් කිව්.ආර් කෝඩ් එකට දෙනවා නම් පෝලිම් තියෙන්නේ කොහොමද?.
අපි කිව්.ආර් කෝඩ් ගෙනත් තෙල් පෝලිම් ඉවත් කර ගත්තා. එදා මිනිස්සු හරි වෙලාවට තෙල් ගහ ගත්තා.
ලංකාවට වැඩිපුරම ආදායම් එන මාර්ගය වන්නේ විදේශ ප්‍රේෂණයි. විදේශ ප්‍රේෂණ වලින් සියයට 45ක් එන්නේ අරාබිකරයෙන්. එහි රැකියා විශාල වශයෙන් කප්පාදුවක් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ අපේ විදේශ ප්‍රේෂණ නැති වෙනවා.
අපි යනකොට කජු කන සීයා ඩොලර් බිලියන හයක් රටට ඉතුරු කරලා ගියේ.
2026 ජනවාරි මාසෙ වෙන විට ඒ මුදල ඩොලර් බිලියන 6.8ක් බවට පත්වී තිබුණා. හැබැයි මේ මුදල් අයි.එම්.එෆ් නීති අනුව තෙල් ගේන්න පාවිච්චි කරන්න බැහැ.
ඒ වගේම වැඩිම සංචාරක පිරිසක් ලංකාවට එන්නේ ඩුබායි හරහා. අද සංචාරකයන් රටට එන සංධිස්ථාන වැසී ගොස් තිබෙනවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවේ තියෙන වැඩ සැලැස්ම මොකක්ද? මේ ආර්ථිකය ගොඩ ගන්න කිසිම වැඩ පිළිවෙලක් ආණ්ඩුවට නෑ. ඉදිරියේදී අප ලංකාවට විශාල අභියෝගයක් දකිනවා.
යුද කලාප හරහා යන ආනයන අපනයන නෞකාවලට දැන් අමතර මුදලක් ගෙවන්නට සිදුවෙනවා. ලංකාවේ තේ වලින් වැඩිම ප්‍රමාණයක් යන්නේ ඉරානයට, රුසියාවට සහ මැද පෙරදිගට. ඒ වගේම ඇඟලුම් අපනයනයටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම ආනයන වියදම් වැඩිවීම නිසා ලංකාවේ බඩු මිල වැඩි වීමට නියමිතයි. මේ තත්ත්වය නොකියා ජනාධිපතිතුමා සුන්දර ලෙස කතා ගොතා වැඩක් නෑ. ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා. මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා. ඒක අපි කිව්වා කියලා හොඳට මතක තියාගන්න. ගෙනාපු පළමු ගල් අඟුරු ටෙන්ඩරයෙන්ම හොරකම් කළා. ඒ හොරකම දන්නේ නෑ කියලා ජනපති කියන්නේ කොහොමද?
බිලියන දෙකක් වියදම් කරලා ගෙනාපු වාහන ටික දැන් විකුණගන්න බැරුව ඉන්නවා. දැන් රුපියල අව ප්‍රමාණය වෙමින් පවතිනවා.
ජනප්‍රිය තීන්දු වලට කවදාවත් රටක් හදන්න බෑ. රනිල්ට මිනිස්සු බැන්නේ රනිල් කවදාවත් එවැනි තීන්දු නොගත් නිසයි.
අද රනිල් හිටියා නම් මොකක්ද වෙන වෙනස කියලා අහන අයට දෙන්නේ එක උත්තරයයි. බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරු පත් හැදුවෙි මේ තත්ත්වයන් දුටු නිසයි. එවිට යූ.එස් ඩොලර් වලින් ගනුදෙනු කළ යුතු නැහැ. නමුත් අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණා. දැන් වැඩ බැරි ටාසන්ලා වැඩ්ඩො කරපු මිනිස්සුන්ට ඉල්ලං කන්න වෙලා. පෝලිම් වල ඉද්දි ලෝක යුද්ධ කතා කියන්නේ නැතුව ඔලුවට හොඳ ටොක්කක් ඇන ගන්න. කරපු වරදට. මෙහෙම පීචං වෙච්ච චාටර් වෙච්ච ආණ්ඩුවක් අපි දැකලා නෑ”
