කුප්‍රකට එයාර් බස් ගණුදෙනුවෙන් මහින්දට රුපියල් මිලියන 60 ක් ගිහින්..

2016 වසරේ සිදුවූ මතභේදාත්මක එයාර් බස් ගනුදෙනුවේදී අල්ලසක් ලෙස ලැබුණු රුපියල් මිලියන 60 ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන් බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයට අනුව, ඔහුට ලැබුණු රුපියල් මිලියන 60 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාරික තුනකින් ගෙවා තිබෙනවා.

තවත් රුපියල් මිලියන 20 ක මුදලක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී ඇති බව සැකකරු හෙළි කරනු ලැබූ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.

ඔහුගේ බිරිඳගේ නමින් බෲනායි හි ෂෙල් සමාගමක් ස්ථාපිත කර ඇති අතර එම සමාගම යටතේ සිංගප්පූරුවේ බැංකු ගිණුමක් විවෘත කර ඇති බව ද ඔහු අනාවරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසා තිබෙනවා.

මෙම ගිවිසුම හරහා යුරෝපීය ගුවන් ආරක්ෂක සහ අභ්‍යවකාශ සමාගමෙන් (European Aeronautic Defence and Space Company) වෙතින් යුරෝ 1,454,645.54 ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

විමර්ශනවලින් වැඩි දුරටත් හෙළි වී ඇති ආකාරයට අරමුදල් ඕස්ට්‍රේලියාවේ Commonwealth බැංකුවේ සැකකරුගේ ගිණුමට මාරු කර තිබෙනවා.

අල්ලස් මුදලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂවරයෙකුට සහ රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට බෙදා දී ඇති බවත් අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම චෝදනා මත අත්අඩංගුවට ගත් කපිල චන්ද්‍රසේන අප්‍රේල් 2 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.

Latest News

error: Content is protected !!