ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ ප්‍රකාශය සිදු කිරීම සඳහා ඔහුට තර්ජනය කර ඇති බව පවසමින් ඔහුගේ නීතිඥ කණ්ඩායම මඟින් දිවුරුම් පෙත්සමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් ඔහුගේ ප්‍රකාශයේ ඇතුළත් කරන ලෙස ඔහුට තර්ජනය කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් පරිදි 2016 වසරේ මතභේදාත්මක එයාර් බස් ගනුදෙනුවේදී අල්ලසක් ලෙස ලැබුණු රුපියල් මිලියන 60 ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන් බව කපිල චන්ද්‍රසේන මහතා කොමිසමට කළ ප්‍රකාශයක සඳහන් කර ඇති බවයි වාර්තා වුණේ.
සැකකරුගේ ප්‍රකාශයට අනුව, ඔහුට ලැබුණු රුපියල් මිලියන 60 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාරික තුනකින් ගෙවා ඇති බවත්, තවත් රුපියල් මිලියන 20 ක මුදලක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බබවත් සඳහන් කෙරුණා.
මාර්තු 18 දිනැති දිවුරුම් ප්‍රකාශයේ චන්ද්‍රසේන පවසන්නේ කොමිසමට තමා කළ ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක් නොවන බවයි.
ප්‍රශ්න කිරීමේදී තමා පටිගත කිරීමේ කාමරයෙන් පිටතට ගෙන ගොස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් විසින් තර්ජනය කළ බවට ඔහු චෝදනා කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගණුදෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බලපෑම් සම්බන්ධයෙන් සිදු කළ කිසිදු ප්‍රකාශයක් ස්වේච්ඡාවෙන් සිදු නොකළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
එවැනි ප්‍රකාශයක් ලබා ගත්තේ බිය ගැන්වීම් සහ තර්ජන යටතේ බවත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් තම ජීවිතය පිළිබඳ අනිසි බියක් ඇති කර එම ප්‍රකාශ කිරීමට තමාට බල කළ කරමින් බව එහි සඳහන්ය.
