ඉරානයට සහාය පළ කරමින් කාශ්මීරයේ මිනිස්සු ඉඩකඩම්, යාන වාහන, රන් ආභරණ පවා පරිත්‍යාග කරයි

එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහි ඉරානයේ යුද්ධයට සහාය වීම සඳහා කාශ්මීරයේ ජනතාව මෝටර් රථ, යතුරුපැදි, පුද්ගලික ආභරණ, තඹ උපකරණ සහ ඉඩම් පවා පරිත්‍යාග කර ඇති බව වාර්තා වෙනවා.

ඊද් සැමරුමෙන් දිනකට පසු, ඉරිදා නිම්නයේ ෂියා ආධිපත්‍යය දරන ප්‍රදේශවල තරුණයින් ගෙයින් ගෙට ගොස් මෙම ආධාර එක් රැස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

“ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය සහ එහි ආධාරකරුවන් විසින් ඉරානය මත පටවන ලද මෙම නීති විරෝධී යුද්ධය නිසා විශාල විනාශයක් සිදුවී තිබෙනවා. ශිෂ්ට ලෝකයට කළ හැකි අවම දෙය නම් ඉරානයේ දුක් විඳින ජනතාවට ආධාර යැවීමයි” එම වැඩසටහනට එක් වූ මිනිසුන් එසේ පැවසූ බව වාර්තා පවසනවා.

මෙම පරිත්‍යාග වැඩසටහනට පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු සෑම තරාතිරමකම පුද්ගලයින් සහභාගී වූ බව නිලධාරීන් පවසා තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන් රන් ආභරණ, තඹ උපකරණ සහ තවත් දේ විශාල වශයෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇති බවයි සඳහන් වන්නේ.

නිලධාරීන්ට අනුව, දරුවන් Pocket Money පරිත්‍යාග කිරීමෙන් පවා මෙම කර්තව්‍යට එක් වී තිබෙනවා.

විශේෂයෙන් සැලකිය යුතු ෂියා ජනගහනයක් සිටින බුඩ්ගම් සහ බරමුල්ලා ප්‍රදේශවල පරිත්‍යාග එකතු කිරීම් වැඩියෙන් සිදුවී ඇති බව සඳහන්ය.

එකතු කරන ලද දායක මුදල් අවශ්‍යතා ඇති අයට ළඟා වීම සහතික කිරීම සඳහා ඉරාන තානාපති කාර්යාලය ඇතුළු නිල සහන සංවිධාන හරහා යොමු කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් පවසා තිබෙනවා.

පරිත්‍යාගවල ඡායාරූප බෙදා ගනිමින් ඉරාන තානාපති කාර්යාලය X හි සටහනක මෙසේ සඳහන් කර තිබෙනවා.

“කෘතඥතාවයෙන් පිරුණු හදවත්වලින්, ඉරාන ජනතාව වෙනුවෙන් ලබා දුන් මානුෂීය සහයෝගය ගැන කාශ්මීරයේ කරුණාවන්ත ජනතාවට අපි අවංකවම ස්තූතිවන්ත වෙමු” එමෙන්ම මෙම කරුණාවන්ත ක්‍රියාව “කිසිදා අමතක නොවන” බව ද එහි සඳහන් වෙනවා.

Latest News

error: Content is protected !!