පිඹුරෙකු සමග නැටු චන්දිමාල්ගේ අවුරුදු කුමරිය අත්අඩංගුවට.. – අධිකරණ නියෝගයක්

පිඹුරෙකු සමග නැටු චන්දිමාල්ගේ අවුරුදු කුමරිය අඩංගුවට.. – අධිකරණ නියෝගයක්

අවුරුදු උත්සවයකදී ආරක්ෂිත සතෙකු වන පිඹුරකු සමඟ නර්තනයේ යෙදුණු බවට චෝදනා එල්ල වී ඇති තරුණියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සඳුදා (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නෙත්මි හිරන්‍යා ලෙස හඳුනාගත් මෙම තරුණිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ යෙදුණු බවට චෝදනා එල්ල වී ඇත.

අධිකරණයට කරුණු දක්වමින් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආරක්ෂිත සතෙකුට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුණද, ඇය එය නොතකා ඇති බවයි.

මෙම සිද්ධිය කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේ පසුගිය 20 වන සිකුරාදා දින පැවැති උත්සවයකදී (CJ රාජකිය අවුරුදු කුමරා කුමරිය 2026 – National Costume & Talent Round) සිදුව ඇති අතර, වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කිරීමක් ලෙස විමර්ශන ක්‍රියාත්මක වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය වනජීවී නිලධාරීන්ට අවසර ලබා දී ඇත.

වනජීවී නීති අනුව ආරක්ෂිත සතුන් ප්‍රදර්ශනය කිරීම හෝ හිංසා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ.

Latest News

error: Content is protected !!