බලශක්ති සුරක්ෂිතතාවට ජනපතිගෙන් කඩිනම් ක්‍රියාමාර්ග, ජනතා දායකත්වයටත් අවධානය

අනුර කුමාර දිසානායක මහතා, බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
 
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. එහිදී, ජනතාවගේ දායකත්වයද ලබාගනිමින් බලශක්ති භාවිතය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.
 
විශේෂයෙන්, දෛනික බලශක්ති පරිභෝජනය ඉහළ යන සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලි භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් පරිභෝජනය පාලනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇත.
 
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් පද්ධතියට ඇතිව ඇති පීඩනය හමුවේ, රාජ්‍ය හා පුද්ගල මට්ටමින් බලශක්ති කළමනාකරණය වඩාත් වැදගත් වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
තවද, රාජ්‍ය සේවාව තුළ බලශක්ති භාවිතය සම්බන්ධ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, පළාත් පාලන මට්ටමින් විදුලි පරිභෝජනය විධිමත් කිරීම සහ අත්‍යවශ්‍ය නොවන විදුලි භාවිතයන් සීමා කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
 
දැන්වීම් පුවරු සහ අලංකරණ විදුලි පද්ධති සඳහා වැයවන විදුලිය අඩු කිරීම සහ නාගරික ප්‍රදේශවල අත්‍යවශ්‍ය නොවන වීදි ආලෝක භාවිතය සීමා කිරීම මගින් විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවද මෙහිදී සඳහන් විය.
 
අදාළ සියලු පාර්ශ්ව එක්ව විකල්ප ක්‍රමවේද පිළිබඳව කඩිනමින් තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Latest News

error: Content is protected !!