පාකිස්ථාන ක්‍රිකට් පුරාවෘත්තයක් හා සහ හිටපු අගමැතිවරයා වන ඉම්රාන් ඛාන් (Imran Khan) විසින් එරට බන්ධනාගාර අධිකාරියට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර තිබෙනවා.
චෝදනා කරමින් හිටපු අගමැතිවරයා පවසන්නේ සිය බිරිඳ බුෂ්රා බිබී ( Bushra Bibi) හට බන්ධනාගාර බලධාරීන් විසින් මානුෂීය නොවන ආකාරයට සලකමින් සිටින බවයි.
සිය බිරිඳට වද හිංසා දෙමින් ඔවුන් තමන්ව බ්ලැක්මේල් කිරීමට උත්සහ කරන බවට ඔහු චෝදනා කර තිබෙනවා.
ඉම්රාන් ඛාන් සහ බුෂ්රා බිබී දෙදෙනාම දූෂණ චෝදනා යටතේ මේ වනවිට සිරගත වී සිටියි. ඔවුන් දෙදෙනාට දේපළ භාරයන් සහ අතිශය වටිනා ත්‍යාග ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා ඊද් උත්සව සතියේ පුත් කාසිම් ඛාන් සමඟ දුර්ලභ දුරකථන සංවාදයක් අතරතුර ඉම්රාන් මෙම දරුණු වධ හිංසා පිළිබඳ හෙළිදරව් කිරීමෙන් අනතුරුව ඔවුන් එය ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.
“මෙම රටේ විනිශ්චයකාරවරු ලැජ්ජාවට පත් විය යුතුයි. අපි යුක්තිය ලබා ගැනීමට නැවත නැවත උත්සාහ කර ඇති නමුත්, ඔවුන් තම පුද්ගලික වාසිය සඳහා තම ආත්මය විකුණා තිබෙනවා.” යැයි ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
“ඔවුන්ට මාව බිඳ දැමිය නොහැකි බව දන්නා නිසා, මගේ බිරිඳව ඉලක්ක කර තිබෙනවා. මාව බ්ලැක්මේල් කිරීම සඳහා බුෂ්රා බිබීට මෙවැනි අමානුෂික ලෙස සැලකීමට කෙසේ ඉඩ හරින්නේද” යනුවෙන් ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.
බුෂ්රා බිබී ජනවාරි මාසයේ සිට ආඩියාලා බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර, ඇය සම්පූර්ණයෙන්ම වෙන්ව තබා ඇති බවට ඉම්රාන් චෝදනා කර තිබෙනවා. ඔහුට සතියකට මිනිත්තු 30ක් පමණක් ඇය හමුවීමට අවසර ලැබෙන නමුත් එම අවස්ථාව බොහෝ විට උදා නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඉම්රාන් ඛාන් ද එම බන්ධනාගාරයේම රඳවා ඇති අතර, ඔහුගේ දකුණු ඇසට සම්බන්ධව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙනවා. වාර්තා අනුව ඔහුගේ දකුණු ඇසේ දෘෂ්ටියෙන් සීයට 85කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ගොසිනි.
එමෙන්ම ඔහුට දැනටමත් ප්‍රතිකාර මාත්‍රා තුනක් ලබා දී ඇති අතර, හතරවන මාත්‍රාවක් ලබා දීමට ඉඩකඩ අඩු බවත් වාර්තා වෙනවා.
