ගෙවීම් මත පදනම් වූ OnlyFans වේදිකාවේ ප්‍රකෝටිපති හිමිකරු වන ලියොනිඩ් රැඩ්වින්ස්කි (Leonid Radvinsky) පිළිකාව සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පැවති සටනකින් පසු වයස අවුරුදු 43 දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔහු සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවත්, සාපේක්ෂව අප්‍රකට වේදිකාවක් වූ OnlyFans ගෝලීය ඩිජිටල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් කළ බවත්ය.
2018 දී රැඩ්වින්ස්කි OnlyFans හි බහුතර කොටස් අත්පත් කර ගත් අතර, එය සුවිශේෂී අන්තර්ගතයන් සඳහා නිර්මාණකරුවන් පරිශීලකයින්ගෙන් අය කරන ගෙවීම් පදනම් කරගත් සේවාවක් බවට පත් කිරීමට කටයුතු කර තිබුණා.
මෙම වේදිකාව ඉතා වේගයෙන් ජනප්‍රිය වූ අතර විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර ඔහුගේ පෞද්ගලික ධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ෆෝබ්ස් සඟරාවට අනුව, ඔහුගේ ධනය වසර ගණනාවක් පුරා තියුණු ලෙස ඉහළ ගොස් ඔහු මිය යන විට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 4.7 ක් ඔහුගේ වත්කම් බවට පත්ව තිබුණා. වේදිකාවේ ජනප්‍රියතාවය ලොව පුරා ඉහළ යාමත් සමඟ ඔහු ප්‍රථම වරට ප්‍රකෝටිපතියෙකු ලෙස පිළිගැනීමට ලක් වූයේ 2021 දී ය.
වාර්තා පෙන්වා දෙන්නේ ව්‍යාපාරය සැලකිය යුතු ආදායමක් උපයා ඇති බවත්, 2024 දී OnlyFans ඩොලර් බිලියන 1.4 ක පමණ ආදායමක් උපයා ගෙන ඇති බවයි. පරිශීලකයින් මෙම වේදිකාව සඳහා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7.2 ක් වැය කළ බව ද එහි සඳහන්ය. මෑත වසරවලදී රැඩ්වින්ස්කි විසින්ම සමාගමෙන් බිලියන ගණනක ලාභාංශ උපයා ඇති බව වාර්තා වෙනවා.
ඔහුගේ මූල්‍යමය සාර්ථකත්වය තිබියදීත්, රැඩ්වින්ස්කි සැලකිය යුතු ලෙස මාධ්‍යවලින් ඈත්ව සිටි අතර සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේ කලාතුරකිනි.
ඔහුගේ මරණයට පෙර, ඔහු ඩොලර් බිලියන 8 ක් පමණ වටිනා ගණුදෙනුවක් ඔස්සේ OnlyFans විකිණීම සඳහා සාකච්ඡාවල නියැලී සිටි බව ද වාර්තා වෙනවා.
