පිඹුරා සමඟ නැටූ තරුණිය ඇප මත මුදා හැරේ..

CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරගය අතර පිඹුරෙකු සමඟ නර්තනයේ යෙදුණු තරුණිය අද (24) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහතා නියෝග කර තිබෙනවා.

සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් කොළඹ ‘රෝයල් මාක්ස් අරීනා’ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ “රාජකීය අවුරුදු කුමරා කුමරිය” තේරීමේ උත්සවයේදී ඇය පිඹුරෙකු සමඟ නර්තනයේ යෙදීම ආන්දෝලාත්මක සිදුවීමක් වුණා.

මෙත්මී හිරන්‍යා නැමැති මෙම තරුණිය උරග වර්ගයට අයත් පිඹුරෙකු ගෙලේ පටලාගෙන නටන වීඩියෝව තරිඳු වෙල්හේනගේ විසින් සමාජ මාධ්‍යවෙත මුදා හැරීමත් සමඟ එයට බොහෝ දෙනෙකු චෝදනා කර ඇති ආකාරයයි දක්නට ලැබුණේ.

ආසන්න කාල සීමාවේ බැකෝ යන්ත්‍රයකට හසුවී අසාධ්‍ය තත්ත්වයේ සිටි පිඹුරකුට වෙදකම් කරමින් සුවපත් කළ තරුණයෙක්ට අධිකරණයෙන් රු 50,000 ක දඩයක් නියම කිරීම එම විවේචන දෙගුණ තෙගුණ වීමට හේතු වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

මීට පෙර ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද ඇය එය මඟහැර සිටි බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ද වනජීවී නිලධාරීන් ඊයේ (23) අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම නර්තනය සඳහා අදාළ සත්වයා ලබා දී ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

error: Content is protected !!