ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ජනාධිපති විශේෂ කාමරය මහජනතාවට විවෘත කෙරේ..

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙතෙක් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ විශේෂ කාමරය අද (මාර්තු 24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා විවෘත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇත. මෙම පියවර වත්මන් රජයේ රාජ්‍ය දේපොළ සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ ප්‍රතිපත්තියට අනුකූලව ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඇඳන් 1000ක ධාරිතාවයකින් යුක්ත විය. කෙසේ වෙතත්, එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය අතිරේකව එක් කර තිබුණි. රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගීන්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වා ගෙන ගොස් තිබීම විශේෂත්වයකි.

අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිත අතර, එමගින් රෝහලේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Latest News

error: Content is protected !!