සිංහල අවුරුද්දේ හරයන් විනාශ කළ විකෘති අවුරුදු කුමාරියෝ..

සංස්කෘතික අමාත්‍යාංශය නිහඬ ඇයි?

මේ අලුත් අවුරුද්දේ අවුරුද්ද ලබන්නත් කලින් දකින්න ලැබුණේ අවුරුදු කුමරියන්ය.

අපද ඒ අවුරුදු කුමාරියන්ට අපේ සමාජ වේදිකාවන් තුළ ඉඩ හසර ලබා දුන්නේ අවුරුදු කුමාරිය යනු සිංහල අලුත් අවුරුද්දේ එයට ඇති සංකේතමය වටිනාකම නිසාමය.

හෙළ අවුරුදු කුමරිය යනු අපේ රටේ ගැහැණියගේ, තරුණියගේ සුන්දරත්වය, අභිමානය, ගෞරවය පිළිබඳ කියාපාන කැඩපතකි. ගමක අවුරුදු කුමරිය ඒ මුළු ගමේම අනෙක් දරුවන්ගේ පරමාදර්ශය විය. මුළු පළාතක් රටක් ඇයව අනුගමනය කළාය. ඇය මෙන් වන්නට සිහින මැව්වාය.

සිංහල අලුත් අවුරුද්ද යනු හෙළ බොදු මෙන්ම හින්දු භක්තිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් හෙළි දරව් කරන උත්සවයයි.

එහෙත් මේ අවුරුද්දේ මේ වන විට පවත්වා ඇති අවුරුදු කුමරියන් තේරීමේ තරග දෙස බැලූවිට පෙනෙන්නේ එම උරුමය සම්පූර්ණයෙන් විකෘති වී ඇති ආකාරයයි.

වෙනදා අප දකින මල්වගේ පිපුණු පිරිපුන් දැක්කත් හිත පිරෙන අවුරුදු කුමාරියෝ මෙවර තනිකරම විකෘති වී ඇති ආකාරය පෙනෙන්නට තිබිණි. බොහෝ කුමරියන්ගේ රෙදි ඉල්ලේය. ඔවුන් වේදිකාවේ පෙනී නොසිටියේ බිකිනියෙන් පමණක්වන අතර බිකිනියටත් අඩු රෙදි කැබිලිවලින් සැරසී නයිට් ක්ලබ් ඩාන්ස් වේදිකාවේ දමන ආකාරය දැකගත හැකිවිය.

අවුරුදු කුමාරියෝ නයි පොළොංගු පිඹුරන් හා ඇලී ගැලී වෙලී නටන්න ගොස් අන්තිමේ අධිකරණය දක්වාම යන්නට ද සිදු විය. කුරුනෑගලින් පැමිණි කුමරියෝ තොල් උල් කර කුරුනෑගලින් පැමිණි බව කියන්නට ගොස් නාගත්තාය. ඔවුන්ගේ පොෂ් ගතියට සමාජ මාධ්‍යවල හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ නැවත කුරුනෑගලට යාමටත් නොහැකි තත්ත්වයක් උදා කරමිනි.

මේ අවුරුදු කුමාරියෝ බක්මාසයෙන් පසු ජීවිතේ කොහෙන් කෙළවර කරගනීද කියා සිතා ගන්නත් බැරිය.

රාජකීය අවුරුදු කුමාර කුමාරියෝ වේවා මේ බොහෝ අවුරුදු කුමාරියන්ගේ තරගවල සැබෑ අරමුණ වුණේ හෙළ අවුරුදු කුමාරිය සොයා ගැනීම නොවේ.

මේවා සංවිධානය කළ සංවිධායකයින් බහුතරයකගේ ඉලක්කය ඔවුන්ගේ එතෙර මෙතෙර පැජන්‍ට් සඳහා යුවතියන් බා ගැනීමයි. මෙම තරුණියන්ගෙන් බහුතරය ඔවුන්ගේ Model School හා පන්තිවල ශිෂ්‍යයන් බවට පත් වේ. ඉන්පසු දරාගත නොහැකි ඉහළ මිල ගණන්වලට කැට්වෝක්, පෝසින්, ගෲමින්, කන්ෆිඩන්ස් බිල්ඩින්ග් කියමින් නිරූපනය උගන්වයි. ඉන්පසු දේශීය ජ්‍යාත්‍යන්තර තරගවලට සුදුසු වුවත් නැතිවුවත් ඉදිරිපත් කරයි. පැජන්ට් නරක නැත. එහෙත් ඒ වෙනුවෙන් තරුණියන් බිලී බෑම සඳහා සිංහල අලුත් අවුරුද්දේ හරයන් විකෘති කිරීමේ බරපතල ප්‍රශ්නයක් පවතී.

සංස්කෘතික අමාත්‍යාංශය අනේ ඕන මඟුලක් නටා ගත්තාවෙ අපට මොකෝ කියා ඇස් කන් පියාගෙන සිටියි.

ටික කලකට ඉහත පසුගිය රජය වකවානුවේ සිංහල අවුරුදු ගීතයක් විකෘති කළ තරුණයෙකුට එරෙහිව සංස්කෘතික අමාත්‍යාංශය දැඩි ක්‍රියාමාර්ග ගත්තේය.

එහෙත් අමු අමුවේ සිංහල අලුත් අවුරුදු කුමරිය විකෘති කර ශ්‍රී ලාංකික යුවතියගේ ගරුත්වය විනාශ කර දමන මෙම තරග සංවිධායකයින්ට විරුද්ධව වත්මන් සංස්කෘතික අමාත්‍යාංශය සම්පූර්ණයෙන් නිහඬය.

අපට ලැබුණු එක ප්‍රතිචාරයකින් මෙය අවසන් කරමු.

“ඉතිහාසයේ සිට මේ දක්වා සිංහල අලුත් අවුරුදු උත්සව පවත්වාගෙන ගිහින් තියෙන්නේ හෙළ බොදු සංස්කෘතිය මුල් කරගෙන.. මේ වැඩේ චාටර් උනේ අර අහිංසක සත්ව වේදියාට වනජීවී එකෙන් නීතියෙන් අසාදාරණයක් වූ නිසයි,, කෙසේ නමුත් අපේ රට සිංහල බෞද්ධ රටක් නිසා සිංහල අලුත් අවුරුද්ද වගේ සුවිශේෂී අවස්ථාවන්හිදී හෙළ බොදු පිළිවෙත් වලට හා හෙළ සංස්කෘතියට ආවේනික වන දේවල් පමණක් ඉෂ්ඨ සිද්ධ කිරීමට නව නීති සම්පාදනය කරන්න ඕනේ ඔය සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ මහා සංඝරත්නය හා විද්වත් මණ්ඩලය සහාය ඇතිව,,, ඒ වගේම වන සත්තුන්ට උපකාර ප්‍රතිකාර කරන අයවලුන්ට රජයෙන් රජයේ නීති පද්ධතියෙන් උපකාර ආධාර ලැබෙන ක්‍රමවේදයකුත් සකසා දෙන්න ඕනේ,,, අලුත් අවුරුදු මුල් කරගෙන විතරක් නෙවෙයි ප්‍රසිද්ධියේ කරන කාන්තා අඩනිරුවත් රංගනයන් තහනම් වෙන්ඩ ඕනේ,,, අදාල සිංහල පඬිවරු ඉන්නවනං අපේ රටේ මේවාට මැදිහත් වෙලා ක්‍රියා කරන්න ඕනේ,,”

Latest News

error: Content is protected !!