දකුණු කොරියාවේ සෝල් නගරයේ හෝටල්වලදී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා තරුණියක් භාවිත කළ බෙහෙත් වට්ටෝරුවක් එරට සමාජ මාධ්‍ය තුළ කැළඹීමකට හේතු වී තිබෙනවා.
20 හැවිරිදි කිම් සෝ-යං Kim So-young නමැති තරුණිය පිරිමින් හය දෙනෙකුට මෙම විෂ බෙහෙත් පාන වර්ගවලට මිශ්‍ර කර ලබා දී ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී සිව් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ඝාතනය සඳහා ඇය විසින් භාවිත කරන ලදැයි පැවසෙන ඖෂධ වට්ටෝරුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පටන් ගැනීමත් සමඟ අපරාධ රැල්ලකට එය මුල් විය හැකි යැයි බලධාරීන් බිය පළ කර තිබෙනවා.
X හි මෙම වට්ටෝරුව පළ කර තිබුණේ “Guys, the recipe is out” යන මාතෘකාව ඊට යොදමිනි.
එහි එම ඝාතන සඳහා ඇය භාවිත කළ ඖෂධ 8ක නාමයන් දැක්වුණා. එමෙන්ම ඒවා යොදාගත යුතු මාත්‍ර ප්‍රමාණයන් (dosages) හා වෛද්‍ය භාවිතයන් පිළිබඳව ද එහි සඳහන් වූ බවයි වාර්තා වන්නේ.
මෙම Post එක පැය කිහිපයක් තුළ Likes 24,000කට වැඩි ප්‍රමාණයක් Views මිලියන 2කට අධික ප්‍රමාණයක් හා share 1,200කට අධික ප්‍රමාණයක් ලබා ගෙන තිබුණා.
එම තොරතුරු සත්‍යද නැද්ද යන්න තහවුරු කර නොමැති අතර එය මේ වන විට එම සමාජ මාධ්‍ය වේදිකාවෙන් ඉවත් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Kim So-young මේ වනවිට ඝාතන සිදු කිරීම, දැඩි ලෙස පහර දීම හා ඖෂධ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
නඩු විභාගය අප්‍රේල් 9 දින සෝල් උතුරු දිසා අධිකරණයේදී ආරම්භ වීමට නියමිතය.
