ටෙල් අවීව් අහසේ කපුටන් දහස් ගණනින් දර්ශනය වීම මහා විනාශයක පෙරනිමිත්තක්ද?

ඊශ්‍රායලයේ ටෙල් අවීව් (Tel Aviv) අහසේ දහස් ගණනින් කපුටන් පියාඹා යෑමේ දසුනක් සමාජ මාධ්‍යවල උණුසුම් කතා බහට හේතු වී තිබෙනවා.

මේ වන විට එම කලාපයේ පවතින යුද උණුසුම සමඟ ගැට ගැසී මෙම දර්ශනය මහා විපතක පෙර නිමිත්තක් බවට මත පළ වන්නට පටන් ගැනීම ඊට හේතුවයි.

මෙම දසුන පටිගත වූ වීඩියෝවේ නගරයේ ගොඩනැගිලිවලට ඉහළින් විශාල කළු වළාකුලක් සේ අහසේ ගමන් කරන යමක් දිස්වන අතර එය කපුටන් සිය දහස් ගණනකගේ රංචුවක් බව දිස් වෙනවා.

මෙය දුටු ජනතාව අතර බිය සහ කුතුහලය නිර්මාණය වූ බවයි ලැබුණු ප්‍රතිචාරවලින් පෙනී යන්නේ.

මෙය යම් විනාශයක පෙර නිමිත්තක් (harbinger of doom) ලෙස ඇතැම් අය එය අර්ථකථනය කරද්දී තවත් පිරිසක් බයිබලයේ Book of Revelation හි 19:17 සමඟ සම්බන්ධ කරමින් “අවසාන කාලයේ සලකුණක්” ලෙස විවරණය කර තිබෙනවා.

එහෙත් විශේෂඥයන් පවසන්නේ මෙය අසාමාන්‍ය දෙයක් නොවන බවයි. ඊශ්‍රායලය ලෝකයේ වඩාත්ම ව්‍යාප්ත පක්ෂී ගමන් මාර්ගයන්ගෙන් (bird flyways) එකක් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. වසන්ත කාලයේදී පක්ෂීන් මිලියන 500කට ආසන්න සංඛ්‍යාවක් මෙරට හරහා ගමන් කරනවා. කපුටන් ගත් විට විශේෂයෙන්ම නගරවලට එකතු වන්නේ කූඩු තැනීම සඳහාය. මාර්තු මාසයේදී නගරවලින් පිටවීම හෝ එකතු වීම සාමාන්‍ය හැසිරීමකි.

මේ අනුව ඊශ්‍රායලය තුළ මෙවැනි දර්ශන වාර්ෂිකව දක්නට ලැබීම සාමාන්‍ය පාරිසරික සිදුවීමක් බව ඔවුන් පැහැදිලි කර තිබෙනවා.

පුරාණ රෝම අධිරාජ්‍ය සමයේ දී පක්ෂීන්ගේ පියාසර රටාවන් මගින් යුද්ධ තීරණ ගන්නා ලද බව ඉතිහාසයේ වාර්තා වන්නකි. එබැවින් මේ වගේ සිදුවීම් අධ්‍යාත්මික හෝ අනාගතයේ සිදුවන යම් දෙයක පෙර නිමිත්තක් ලෙස විශ්වාස කිරීමට ද මිනිසුන් පෙළඹී සිටියි.

Latest News

error: Content is protected !!