යුතනේසියා (Euthanasia) කියන්නේ, බරපතළ රෝගයක් හෝ සුව නොවෙන වේදනාවක් නිසා දුක් විඳින පුද්ගලයෙකුගේ ජීවිතය වෛද්‍ය සහාය ලබාගෙන අවසන් කිරීමේ ක්‍රියා මාර්ගයකි.
සරලවම කියනවා නම් “දරුණු වේදනාවකින් නිදහස් වී, සන්සුන්ව මරණයට යාමට උදව් කිරීම” යි.
මෙම වෛද්‍ය සහාය ලබා ගෙන ජීවිතය අවසන් කර ගැනීම විවාද සම්පන්න වන අතර එය නැවත වතාවක් කතා බහට ලක් වෙමින් පවතී.
ඒ වයස අවුරුදු 25ක් වූ ස්පාඤ්ඤ ජාතික නොයෙලියා කැස්ටිලෝ රාමෝස් (Noelia Castillo Ramos) අද (2026 මාර්තු 26) මෙම ක්‍රමය ඔස්සේ ඇගේ ජීවිතයට සැනසීමක් උදාකරගත් සිදුවීම සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟයි.
නොයෙලියා බිඳුණු හිතක් ඇති තරුණියකි. ශරීරයෙන් මෙන්ම ඇතැම් විට ඊට වඩා සිය දහස් ගුණයකින් මනසින් පීඩා විඳි ඇය එම දුකෙන් ගැලවීමේ මාර්ගය ලෙස තෝරාගෙන තිබුණේ මරණයයි.
2022 වසරේදී, රජයේ සමාජ ආරක්ෂිත මධ්‍යස්ථානයක වාසය කරමින් සිටියදී, ඇය තිදෙනෙකු විසින් සිදුකළ සමූහ දූෂණයකට ගොදුරු වී තිබුණා. එම අමානුෂික සිදුවීමෙන් පසු ඇය දැඩි විශාදයට සහ පශ්චාත් ව්‍යසන ආතති ආබාධයට ගොදුරු වුණා.
දැඩි මානසික වේදනාව දරාගත නොහැකි වීමෙන් ඇය වරක් පස් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ජීවිතය අවසන් කිරීමට උත්සාහ කළා.
එයින් ඇයගේ කොඳු ඇට පෙළට දරුණු හානි සිදුවී ඉණෙන් පහළ පණ නැති වුණා.
වසර දෙකකට ආසන්න කාලයක් හදවත සක්‍රීය එහෙත් ජීවත්වීමට ධෛර්යයක් නොමැති දුෂ්කර කාලවකවානුවක් ගත කළ නොයෙලියා 2021දී ස්පාඤ්ඤයේ හඳුන්වාදුන් euthanasia නීතිය යටතේ ජීවිතය අවසන්කර ගැනීමට තීරණය කළා.
එහෙත් ඇගේ පියා ඇගේ මෙම තීරණය ගැනීමට තරම් ඇය යහපත් මානසික තත්ත්වය නොසිටින බව ප්‍රකාශ කරමින් නීතිමය සටනක්ද ආරම්භ කළා.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර අවසන් සම්මුඛ සාකච්ඡාවකදී,
“මගේ පවුලේ කිසිවෙකු මේකට කැමති නැහැ. නමුත් මම මේ වසර ගණනාවක් විඳපු වේදනාව නිසා, සැනසිල්ලේ නිදා ගැනමට මට අවශ්‍යයි” ඇය පවසා තිබෙනවා.
“පියාගේ හෝ මවගේ හෝ සොයුරියගේ සතුට, දියණියකගේ ජීවිතයේ වේදනාවට වඩා ඉදිරියට යන්න ඕනේ නැහැ.” ඇය එසේ තර්ක කළ බවයි වාර්තා වන්නේ.
ඇය වාසය කරන ආරක්ෂිත නිවසේදී මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිතව තිබූ අතර, විනාඩි 15ක් පමණ ඇතුළත සිදුකරන එන්නත් මාලාවක් හරහා ඇයට අවශ්‍ය වූ එම සැනසීම ලබා දීමට නියමිතව තිබුණා.
නීතියෙන් පවුලේ අයට අසල සිටිය හැකි වුවද, ඇය තම අවසන් මොහොතේදී තම මව්පියන් අසල නොසිටීමේ දැඩි තීරණයකට ද එළැඹ තිබෙනවා.
