මැදපෙරදිග අර්බුදය හමුවේ රුසියාවෙන් ශ්‍රී ලංකාවට පුළුල් සහයෝගයක්

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකදී සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාෂවින් මහතා අවධාරණය කරයි. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කළේය. ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග පිළිබඳව රුසියාවට අවබෝධයක් ඇති බවත්, බලශක්ති, තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ඇතුළු ඕනෑම අංශයකින් සහාය වීමට සූදානම් බවත් මාෂවින් මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අතර, අතීතයේ සෝවියට් රුසියාවෙන් ලැබුණු සහයෝගය මෙරට සංවර්ධනයට පිටිවහලක් වූ බවද කියා සිටියේය. රුසියාවෙන් වැඩිම සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ශ්‍රී ලාංකික සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීම සහ ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව ලබා දෙන සහාය පිළිබඳවද ජනාධිපතිවරයා කෘතඥතාව පළ කළේය.

මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කරනු ඇතැයි ජනාධිපති දිසානායක මහතා විශ්වාසය පළ කළේය.

Latest News

error: Content is protected !!