පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ආරක්ෂක මණ්ඩලයට තමන් කැඳවූයේ නැති බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (26) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශ කළා. ප්‍රහාරය පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ තොරතුරු ලැබුණු වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකු දැනුවත් කළ බවද ඔහු සඳහන් කළා.
ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ජයසුන්දර මහතා, එවකට ජනාධිපතිවරයා සමඟ පැවති අමනාපකම් ඇතුළු හේතු කිහිපයක් නිසා තමන්ට සහ ආරක්ෂක ලේකම්වරයාට පමණක් වගකීම පැවරූ බව කියා සිටියා.
නිශාන්ත සිල්වා මහතා මාරු කිරීමේ සිද්ධියෙන් පසු ජනාධිපතිවරයාගේ විරසකය තමන්ට විශාල බලපෑමක් කළ බවත්, මාස පහක පමණ කාලයක් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමන්ට කැඳවීම් නොලැබුණු බවත් ඔහු හෙළි කළා.
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා 854කට තමන් නිර්දෝෂී බවත්, පොලිස්පතිවරයා ලෙස කළ හැකි සියල්ල මහජනතාව කලබලයට පත් නොවන අයුරින් සිදු කළ බවත් ජයසුන්දර මහතා අවධාරණය කළා.
මෙම නඩුවේදී තමන් වෙනුවෙන් සාක්ෂි දීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, වරුණ ජයසුන්දර සහ ප්‍රියලාල් දසනායක යන මහත්වරුන්ට ලබන අප්‍රේල් 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ විත්තිවාචකය අප්‍රේල් 29 වැනිදා සිදු කිරීමට නියමිතයි.
