යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරයේ සුදුසුකම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් 2026 ජූලි මස 02 වනදා ස්ථිර දිනයක් ලෙස අද නියම කරන ලදී.
අභිනව නිදහස් පෙරමුණේ නායක ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, අර්චුනා මන්ත්‍රීවරයා නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි බවට චෝදනා කරයි. රජයේ සේවයෙන් ඉල්ලා අස් නොවී නාම යෝජනා භාර දීම පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
අද දින නඩු විභාගයේදී අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධතා ගොනු කිරීමට කල් ඉල්ලා සිටියද, අධිකරණය විසින් විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් දිනයක් ලබා දෙමින් නඩුව ජූලි 02 වනදාට කල් තබන ලදී.
