පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් (Imran Khan)ගේ පුත් කාසීම් ඛාන් (Kasim Khan) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) හමුවේ තම පියා පිළිබඳ දැඩි කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ, තම පියාට එරෙහිව ක්‍රියා කරන ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුති උල්ලංඝනය කිරීමක් බවයි.
2023 සිට “Toshakhana” නඩුවට අදාළව අඩියාලා බන්ධනාගාරයෙහි වසර 14ක සිරදඬුවමක් භුක්ති විඳින ඉම්රාන් ඛාන්, දේශපාලන විරෝධය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක ඉලක්කයක් වී ඇති බව ඔහු සඳහන් කළා.
කාසිම් කියා සිටියේ, “මගේ පියා දින 1,000කට ආසන්න කාලයක් සිරගත කර සිටිනවා. දේශපාලන විරෝධය මර්දනය කළ යුතු අපරාධයක් ලෙස සැලකෙන පද්ධතියක ඔහු ප්‍රධාන ඉලක්කයක් වී තිබෙනවා. මම අවුරුදු තුනකට වැඩි කාලයක් පියා දැක නැහැ.”
මේ අතර, ඉම්රාන් ඛාන්ගේ සොයුරිය අලීමා කානුම් (Aleema Khanum)ද, තම සහෝදරයා හමුවීමට අවස්ථාව නොලැබීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා නොදීම ගැන මීට පෙර ද අවධානය යොමු කර තිබුණා.
ඇය සඳහන් කළේ, ඔහු සිරගෙය මාරු කළ බවට පැතිරුණු වාර්තා අතරතුර පවා පැහැදිලි තොරතුරු ලබා දීමට බලධාරීන් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.
කාසිම් තවදුරටත් ප්‍රකාශ කළේ, පකිස්ථානය තුළ අසහනය සහ පීඩනය වැඩිවෙමින් පවතින බවත්, ජනතාවගේ කොටස් කිහිපයක් නිශ්ශබ්ද කිරීමට සංවිධානාත්මක උත්සාහයක් පවතින බවත්ය.
ඔහු පෙන්වා දුන්නේ, දැන් පකිස්ථානයේ ආගමට එරෙහි අපහාස නීති දැඩි කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවත්, ජනතාව “ත්‍රස්තවාදීන්” ලෙස ලේබල් කිරීම හරහා විරෝධය මර්දනය කරන බවයි.
අවසානයේ, කාසිම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සහ UNHRC වෙත ඉල්ලීමක් කරමින් පැවසුවේ, පකිස්ථානයට එරෙහිව මෙම “පීඩනය” වහා නතර කරන ලෙස බලකරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ මතය අනුව සියලු දේශපාලන සිරකරුවන් මුදාහැරීමට පියවර ගන්නා ලෙසත්ය.
කාසිම්ගේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පකිස්ථාන රජයෙන් තවම නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.
