“ඕන දෙයක්, ඔයා ලියකියවිලි ටික එවන්න, මම ඒකට අත්සන් කරන්නම්”
බොලිවුඩයේ කින්ග් ඛාන් හා කරන් ජෝහාර් අතර බැඳීම වාක්‍ය කිහිපයකින් විස්තර කළොත් එසේය.
ෂාරුක් කිසිවිටකත් තමාගේ තිර පිටපතක් සාකච්ඡා නොකරන බවත් මුදල් පිළිබඳ විමසා නොමැති බවත් කරන් ෂාරුක් හා ඔහුගේ බැඳීම ගැන කතා කරන බොහෝ අවස්ථාවල කියන කාරණාවකි.
ඔහු මට හොඳ උපදෙස් දෙන්නෙක්, මිතුරෙක් සහෝදරයෙක් යැයි කරන් ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම පවසන දෙයක් බවට පත් වුණා.
චිත්‍රපට කර්මාන්තයේ ඔහුගේ මුල්, අභියෝගාත්මක දිනවල සැනසීම සහ සහයෝගය ලබා දෙමින්, සැබවින්ම තමාව පිළිගත් පළමු පුද්ගලයා ලෙස කරන් හඳුන්වන්නේ මෙම අකුරු (SRK) ත්‍රිත්වයයි.
1998 වසරේ කුච් කුච් හෝ තා හේ චිත්‍රපටයෙන් මෙම බැඳීම ආරම්භ වූ අතර ඉන් පසු කරන්ගේ චිත්‍රපට ගණනාවක් ලියැවුණේ ෂාරුක්ගේ නමින්ය.
කභි කුෂි කභි ගම්, කභි අල්විද නා කෙහෙනා සහ මයි නේම් ඊස් ඛාන් ෂාරුක්ගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථාන බවට පත්වන්නේ ද ඒ බැඳීමේ ප්‍රතිඵයක් ලෙසයි.
මෙම සම්බන්ධතාවය කර්මාන්තයේ අනෙක් නළුවන්ට නරක බලපෑමක් වුණාද?
එවකට දැවැන්තම නිෂ්පාදකයකු වූ ධර්මා ප්‍රොඩක්ෂන් (Dharma Production) සමඟ කරන්ගේ මුල්කාලීන චිත්‍රපට බොහොමයක් ෂාරුක් ඛාන්ට ලබා දීම ගැන බොලිවුඩ් පුරවරයේ විවිධ කතා පවතී.
ඉන් එකක් වන්නේ කරන්ගේ සාර්ථකත්වයට ෂාරුක් ඛාන් නැතිව බැරිවු බවයි. ඔහුගේ රොමෑන්ටික් කතන්දර බොහොමයක් සාර්ථක වුණේ ෂාරුක් ඛාන් නිසා බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ නිසා කරන්ට ෂාරුක් නැතිව බැරිවු බවයි සඳහන් වන්නේ.
මෙය සමකාලීන අනෙක් ඛාන් දෙදෙනාවන අමීර් ඛාන්, සල්මන් ඛාන් ට බලපෑවේ කොහොමද කියන එක ගැනත් විවිධ සාකච්ඡා තිබෙනවා.
මේ අතර වරක් සල්මන් එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණේ 2017 වසරේ චේතක් සම්මාන උළෙලේදීය.
එහිදී කරන් ඔහුගේ චිත්‍රපටවලදී මෙන්ම විවිධ සංදර්ශනවලදී ෂාරුක් ඛාන්ට වැඩිපුර අනුග්‍රහය දක්වන බව සල්මන් පැවසුවේ විහිළුවක ස්වරූපයෙනි.
මෙම සම්මාන උළෙල සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් සහ කරන් ජොහාර් විසින් මෙහෙයවනු ලැබුවා.
එහිදී පිටපතට අනුව කරන් විවිධ වර්ණනා කරමින් ෂාරුක් මුලින්ම වේදිකාවට ගෙන ඒමට උත්සහ කරන අතර ඊට ප්‍රතිචාර දක්වමින් සල්මන් පැවසුවේ,
“මේ පක්ෂග්‍රාහීත්වය මොකක්ද මචං? ඔයාගේ පළමු චිත්‍රපටයට ෂාරුක් ඛාන්ව ගත්තා. කොෆී විත් කරන් හි මුල්ම වැඩසටහනට ඔයා ෂාරුක් ඛාන්ව ගෙන්නුවා. මෙතනත් මුලින්ම ෂාරුක් ඛාන්? මේක කරන්න බැහැ!”
මෙය අදටත් බොලිවුඩ් හි කතා වෙන දෙයක් වන අතර සල්මන් විහිළුවෙන් විහිළුව ඔවුන්ට එයින් වුණු බලපෑම ගැන මතයක් සමාජ ගත කළ බවයි බොහෝ දෙනෙක්ගේ අදහස වී තිබුණේ.
කොහොම වුණත් එවකට බොලිවුඩයේ දැවැන්තම චිත්‍රපට කිහිපය ඔවුන්ට අහිමිවුවත් අමීර් හා සල්මන් ඔවුන්ගේ අනන්‍යතාවය රැකගෙන ෂාරුක්ට නොදැවෙනි සලකුණු බොලිවුඩ්වල ඉතිරි කළා කියන එක නම් බැහැර කරන්න බැහැ.
