ධනංජය රංගනයෙන් ඉවත් වුණේ ‘බණ්ඩාරගේ’ චරිතයට හොඳම නළුවා සම්මානය අහිමි වූ නිසාද?🏆

විශිෂ්ට නළුවෙක් කියෙන්නේ අසාමාන්‍ය කැපවීමක ප්‍රතිඵලයක්. ධනංජය සිරිවර්ධන ඔහුගේ මුළු රංගන ජීවිතය පුරාම විශිෂ්ට නළුවෙක් වෙන්න කැප වීම් කරපු, අත්හදා බැලීම් කරපු, එකිනෙකට වෙනස් රංග පරාසයන්වල අභියෝග භාරගත්ත නළුවෙක්.

ඒ වගේ ප්‍රයත්නයක් දරපු දුෂ්කර කාලයකට පස්සේ තමන් ගොඩ නඟාගත්තු ලෝකය අත් හැරීමට තීරණය කර ඇති බව ධනංජය මේ වන විට එකපාරටම ප්‍රකාශ කර තිබෙනවා.

මැතකදී ඔහු කළ සම්මුඛ සාකච්ඡාවකදී එම තීරණය ගැනීමට ඔහුට බලපෑව කරුණු කිහිපයක් ගැන වේදනාත්මකව ප්‍රකාශයක් කරලා තිබුණා.

ඒ කියන්නේ ධනංජය රංගනයෙන් ඈත් වෙන්නේ ක්ෂේත්‍රයේ සිද්ධ වෙන ඇතැම් දේවල් ගැන කළකිරීමකින්ද? ඔහුගේ මේ ප්‍රකාශය කියවලා ඒක තීරණය කරන්න.

“මේ වෙද්දි මම තීරණාත්මක අවස්ථාවක ඉන්නෙ. මට ටෙලිනාට්‍යවලින් ආරාධනා ආවට හැම ආරාධනාවක්ම බාරගන්නෙ නැතුව මගේ රංගන හැකියාවට වටිනාකමක් ලැබෙන චරිත විතරයි බාරඅරගෙන රඟපාන්නෙ. පහුගිය වසරේදි විකාශය වුණු ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ බණ්ඩාරගේ චරිතය මගේ රංගන හැකියාවට ලොකු වටිනාකමක් දීපු චරිතයක්. එක ගැහැනියක් මත්තෙම ඉඳලා ජීවිතය නැති නාස්ති කරගෙන සල්ලාලකමින් මංමුලා වෙලා අවසානයේ කාත්කවුරුත් නැතුව මහමග මිය ගිය පරාජිත දුශ්ඨයකුගේ චරිතයකුයි මම ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ බණ්ඩාර තුළින් ඉදිරිපත් කෙරුවෙ.

ඉරගිනි මද්දහනෙ අනිත් ප්‍රධාන චරිත පවා දෝලනය වුණේ මම රඟදක්වපු බණ්ඩාරගේ චරිතයෙන්. බණ්ඩාරගේ චරිතය ⁣සියුම් විදිහට අධ්‍යයනය කරලා චරිතයේ අභ්‍යන්තර හැඟීම් සහ බාහිර අභින ජනිතවන විදිහට උපරිම සාධාරණ රංගනයක් මම කළා. ඉරගිනි මද්දහන අවසාන වෙලා අදට මාස නවයක් ගෙවිලා ගියත් බණ්ඩාරගේ චරිතය වෙනුවෙන් මම කරපු රංගනය ගැන ඇගයීමට ලක්කරලා ප්‍රේක්ෂකයො තවමත් විචාර ලියනවා.

බණ්ඩාරගේ චරිතයෙදි කරපු ප්‍රබල රංගනය වෙනුවෙන් සම්මානයක් හිමිවෙයි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් සාධාරණ විදිහට සම්මාන ලබාදෙනවා කියලා පිළිගන්න සම්මාන උළෙලකින්වත් බණ්ඩාරගේ චරිතය වෙනුවෙන් කරපු රංගනයට සම්මාන සඳහා මාව නිර්දේශ කළේ නැහැ⁣. සමහර අය හිතන්න පුළුවන් සම්මානවලට කෑදරකමින් මම මේ විදිහට සම්මාන බලාපොරොත්තුවෙනවා කියලා. නමුත් රංගන ක්ෂේත්‍රයට ආපු දවසෙ ඉඳලා ම⁣ට සම්මාන ලැබුණා. 2004 වසරේ මම ඉස්සෙල්ලම රඟපාපු මේ පාරෙන් එන්න ටෙලිනාට්‍යයේ කරපු රංගනය වෙනුවෙන් රයිගම් ටෙලි සම්මාන 2004 උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

සුමති සම්මාන 2010 උළෙලේ කුසලතා සම්මානයෙනුත් ජූරියේ විශේෂ සම්මානයෙනුත් පිදුම් ලැබුවා. සුමති සම්මාන 2012 උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානයත් රයිගම් ටෙලි සම්මාන 2022 උළෙලේ ජූරියේ විශේෂ සම්මානයෙනුත් පිදුම් ලැබුවා. රංගන ජීවිතයේදි මට ඕනෑතරම් සම්මාන ලැබිලා තියන නිසා සම්මාන අහේනියක්වත් සම්මාන ගැන විශේෂ ආසාවකුත් මට නැහැ⁣. බණ්ඩාරගේ චරිතයෙදි මම දරපු මහන්සිය සහ කැපවීම වෙනුවෙන් සාධාරණ ඇගයීමකුයි මම මේ අවස්ථාවෙදි බලාපොරොත්තු වෙන්නෙ.

සම්මානනීය නළුවෙක් කියලා මිනිස්සුන්ට පේන්න සම්මාන ගන්න ඕනෙ නම් මාසකෙට සැරයක් තියන සම්මාන උළෙලකින් සම්මානයක් අරගෙන ප්‍රදර්ශනය කරන්න මට පුළුවන්. පහුගිය කාලෙ එවැනි සම්මාන උළෙලකින් සම්මානයක් සඳහා මාව නිර්දේශ කරලා තිබුණත් මම සම්මාන උළෙලේ සංවිධායකයන්ට කතා කරලා මගේ නම ඉවත් කරගත්තා. රටේ පිළිගැනීමක් තියන, හැමෝටම සාධාරණ විදිහට සම්මාන ලබාදෙනවා කියන සම්මාන උළෙලකින් මගේ රංගන හැකියාව තේරුම් ගනියි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් නළු නිළියන්ගේ රංගන හැකියාව සංවිඥාණිකව තේරුම් ගන්න බැරි ජූරියක් එවැනි සම්මාන උළෙලවල්වල සිටීම ගැන මට කනගාටුයි.
මම රංගනය වෙනුවෙන් කැපකිරීම් කරපු සහ කැපකිරීම් කරන්න සූදානමින් ඉන්න නළුවෙක්.

පහුගිය වසරේ රිදී තිරයේ තිරගත වුණ Mother Lanka චිත්‍රපටය වෙනුවෙන් මම තුළ ඉන්න පිරිමියව අමතක කරලා Trans Woman කෙනෙක් විදිහ⁣ට රඟපෑවා. Trans Woman කෙනෙක් විදිහ⁣ට රඟපෑමේදි ප්‍රේක්ෂකයො මොනවිදිහෙ ප්‍රතිචාර ලබාදෙයිද කියලවත් මම හිතන්නෙ නැතුව චරිතය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදුන්නා. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරපු ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ භික්ෂුවකගේ චරිතය වෙනුවෙන් මම ඇත්තටම හිස මුඩු කරලා සියයට සීයක් චරිතය වෙනුවෙන් කැපවුණා. රංගනය වෙනුවෙන් කොච්චර කැප වුණත්, කැපවෙන්න ලෑස්ති වුණත් මට ඊට සරිලන සාධාරණයක් වෙලා තියනවද කියලා ප්‍රශ්නයක්.”

ධනංජයගේ තීරණයට කළකිරීමක් හේතුවෙලා තියෙනව කියන එක මේ මුළු ප්‍රකාශය පුරාම කියවගන්න පුළුවන්. සුදුසුකම් තිබියදීත් ඔහු සම්මානයට නිර්දේශ වී හෝ නැහැ.

ඇත්තටම දැන් ලංකාවේ සම්මාන උළෙලවල් සාධාරණයිද? ධනංජය මෑතකදී කරපු බණ්ඩාරගේ චරිතයට සම්මාන උලෙළවල්වලදී ලැබුණ ඇගයීම ප්‍රමාණවත්ද? ධනංජය ඇත්තටම රංගනය නැවැත්විය යුතුද? මේ වගේ ප්‍රශ්ණ නිසා ක්ෂේත්‍රයේ සෑම කලාකරුවෙක්ටම ඉදිරියේදී මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? වගේ ප්‍රශ්ණ ගණනාවක් අප හමුවේ ඉතිරි වෙලා තියෙනවා.

ඇත්තටම ඔයාලට මොකද හිතෙන්නේ?

Latest News

error: Content is protected !!