ජනප්‍රිය දකුණු ඉන්දියානු සිනමා නළුවකු වන තලපති විජේගේ දේශපාලන ආගමනය යළිත් උණුසුම් කතාබහකට හේතු වී තිබෙනවා.
ඒ ඔහු ඉදිරි තමිල්නාඩු මැතිවරණයට පෙරුම්බූර් (Perambur) ආසනයෙන් තරග කිරීමට නාමයෝජනා ඉදිරිපත් කර තිබීමත් සමඟයි. සඳුදා විජේ සිය නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඔහුගේ මැතිවරණ දිවුරුම් ප්‍රකාශය සමඟ වත්කම් හා බැරකම් ලේඛනයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
විජේගේ වත්කම් 💰
විජේ විසින් තම මැතිවරණ ප්‍රකාශ පත්‍රයේ සඳහන් කර තිබෙන මුළු වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 603.20කි. එයට බැංකු ගිණුම්වල තැන්පතු ලෙස ඉන්දියානු රු කෝටි 213කට අධික මුදලක් ඇතුළත් වන අතර චංචල වත්කම් ඉන්දියානු රු කෝටි 404.58 ක් හා නිශ්චල දේපළ ඉන්දියානු රු කෝටි 198.62 ක් ඊට ඇතුළත්ය. ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථ වාහන ලැයිස්තුවට BMW 530, Toyota Lexus, Toyota Vellfire සහ BMW i7 වැනි ඉහළ පෙළේ මෝටර් රථ ඇතුළත් කර තිබෙනවා.
කොඩයිකානල් ප්‍රදේශයේ කෘෂිකාර්මික ඉඩම් සහ චෙන්නායි හි නිවාස හා අනෙකුත් වාණිජ දේපළ ද ඊට ඇතුළත්ය.
ඔහුගේ අතේ දැනට පවතින මුදල් ඉන්දියානු රු ලක්ෂ 2ක් ( ශ්‍රී ලංකා රු 676,372) බව ද එහි සඳහන් බවයි වාර්තා වන්නේ. රන් හා රිදී භාණ්ඩ ග්‍රෑම් 883ක් (වටිනාකම ලක්ෂ 15) ද ඔහුගේ වත්කම් අතරට ඇතුළත්ය.
එමෙන්ම බිරිඳ සංගීතාට රුපියල් කෝටි 12.60ක් ණයට දුන් බවද එහි සඳහන්ය.
විජේ සිය වත්කම් බැරකම් ලේඛනය ඔස්සේ තමාට බැංකු හෝ මූල්‍ය ආයතනවලට කිසිදු ගෙවීමක් නොමැති බවත්, ඔහු බොහෝ දෙනෙකුට පුද්ගලික ණය සහ අත්තිකාරම් ලබා දී ඇති බවත් අනාවරණය කර තිබෙනවා.
