රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් රංගන ශිල්පිනී හර්ෂි රසාංගා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර ඇති බව වාර්තා වේ. සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත.
මෙම සිද්ධියට පාදක වී ඇත්තේ රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් සම්බන්ධ ආරවුලකි. භානුක රාජපක්ෂ මීට පෙර චෝදනා කර සිටියේ, අදාළ රන් මාලය හර්ෂි රසාංගා විසින් ලබාගෙන, පසුව ඔහුගේ අනුදැනුමකින් තොරව උකස් කර ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් හර්ෂි රසාංගා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
අධිකරණය හමුවේ විත්ති පාර්ශවය දැනුම් දී ඇත්තේ අදාළ රන් මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන නැවත ලබා දීමට කටයුතු කළ හැකි බවත්ය.
කෙසේ වෙතත්, අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂි රසාංගා ප්‍රකාශ කර සිටියේ, එම මාලය පුද්ගලික සබඳතාවක් මත තමන්ට ලැබුණු තෑග්ගක් බවයි.
භානුක රාජපක්ෂගේ නීතිඥ කණ්ඩායම පවසන්නේ, අධිකරණය හමුවේ රන් මාලය උකස් කර ඇති බවට පිළිගැනීමෙන් පසුව, සමාජ මාධ්‍ය තුළ ඊට පටහැනි ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මෙම එන්තරවාසිය යොමු කිරීමට තීරණය කළ බවයි. අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව සිදුවීම් සම්බන්ධයෙන් වැරදි සහගත කරුණු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා කරයි.
අදාළ රන් මාලය පොලිස් භාරයට ගෙන අප්‍රේල් 22 වැනිදා පැවැත්වෙන මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා තලංගම පොලිසියට නියෝග කර ඇත.
