ලෝකයක් කතා කරපු ලංකාවේ සුන්දරිය ටිෂානි පෙරේරා දිවයිනට!

(Lakvahini) – තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ප්‍රථම “මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස්” (Miss Grand All Stars 2026) ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ටිෂානි පෙරේරා මෙනෙවිය සාර්ථක තරග නිමාවකින් පසු අද (01) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියාය.

ලෝකයේ ප්‍රමුඛතම රූ රැජින තරගාවලි නියෝජනය කළ දක්ෂතම තරගකාරියන් පමණක් සහභාගී වූ මෙම සුවිශේෂී තරගාවලියේදී, නිරූපණ අංශයෙන් (Runway Challenge) මහජන කැමැත්ත මත අවසන් තරගකාරියන් හත්දෙනා (Top 7) අතරට තේරී පත්වීමට ඇය සමත් වූවාය.
ගෝලීය වශයෙන් රටවල් 56 ක තරගකාරියන් සහභාගී වූ මෙම ජාත්‍යන්තර තරගාවලිය මැයි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා බැංකොක් නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2025 වසරේ “මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා” කිරුළ දිනාගත් ටිෂානි පෙරේරා මෙනෙවිය, ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරිනියක වන අතර දැනට පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලෙමින් සිටින්නීය.

දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ටිෂානි පෙරේරා මෙනෙවිය මෙසේ ප්‍රකාශ කළාය:
“මිස් යුනිවර්ස් සහ මිස් වර්ල්ඩ් ඇතුළු ලොව ප්‍රධානතම ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කළ ප්‍රබල තරගකාරියන් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් තරගකාරියන් රැසක් මෙවර සහභාගී වුණා. තරගාවලිය ඉතාමත් තරගකාරී මට්ටමක පැවතුණත්, එහි සිටි ලාබාලතම තරගකාරිය ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට මට හැකිවුණා. රටවල් 56ක් අතුරින් Runway අංශයේ අවසන් හත්දෙනා අතරට පැමිණීමට සහ විනිශ්චය මණ්ඩලයෙන් ඉහළ ප්‍රතිචාර දිනා ගැනීමට ලැබීම රටක් හැටියට අප ලැබූ ජයග්‍රහණයක්.”

මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර් ජාතික අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රූ රැජින ක්ෂේත්‍රය මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ නව මාවතකට අවතීර්ණ වී ඇති බවයි. එකම වසරක් තුළ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ සුවිශේෂී තරගකාරියක ලෙස ටිෂානි පෙරේරා ඇගයීමට ලක්කළ ඒ මහතා, “මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026” තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම් මේ වන විට ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

මේ අතර, ක්ෂේත්‍රය තුළ පවතින විවේචන පිළිබඳව අදහස් දැක්වූ ටිෂානිගේ සහෝදරිය වන හිමාෂි පෙරේරා, ජාත්‍යන්තර රූ රැජින කිරුළක් යනු මුදලට ලබාගත හැකි දෙයක් නොවන බවත්, එය දැඩි කැපවීම සහ දක්ෂතාව මත පමණක් තීරණය වන්නක් බවත් අවධාරණය කළාය.

ඇයගේ පියා ද අදහස් දක්වමින්, මෙවැනි තරගාවලිවලට සහභාගී වන තරගකාරියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීය මට්ටම පිළිබඳව පූර්ණ විශ්වාසයක් තැබිය හැකි බවත්, ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීමට තරුණ පරපුරට පවතින අවස්ථා තවදුරටත් පුළුල් විය යුතු බවත් පෙන්වා දුන්නේය.

Latest News

error: Content is protected !!