දේශපාලන ලිපි නැතුවම රැකියා 71ක්! අමාත්‍ය ලාල්කාන්තගේ ප්‍රකාශය කතාබහට

(Lakvahini) – ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරු සඳහා තේරී පත් වූ නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවය ඊයේ (2) දින මිනින්දෝරු දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

තරඟ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 570 දෙනෙකු අතුරින් කුසලතා පදනම් කර ගනිමින් තෝරාගත් 71 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකළ මෙම බඳවා ගැනීම්, පවතින පුරප්පාඩු අනුව අදාළ ප්‍රදේශවලට අනුයුක්ත කිරීමට නියමිතය.

දේශපාලන සංස්කෘතියේ වෙනසක්..
මෙහිදී සභාව අමතමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ, සාම්ප්‍රදායික දේශපාලන පත්වීම් ක්‍රමය වෙනස් කරමින් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදුකළ බවයි.
“පෙර පැවති ක්‍රමය අනුව නම් මගේ ඡන්ද දිස්ත්‍රික්කය වන මහනුවරින් බහුතරයක් බඳවා ගැනීමට ඉඩ තිබුණා. නමුත් අපි දේශපාලන වශයෙන් මෙයට ඇඟිලි ගැසුවේ නැහැ. දෙපාර්තමේන්තුව ස්වාධීනව සහ සාධාරණව මෙම කටයුත්ත ඉටුකර තිබෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

දේශපාලනඥයන්ගේ වරප්‍රසාද මත රැකියා ලබාදීමේ ක්‍රමය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වය සහ ගෞරවය පිරිහීමට ලක්ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නව රජය එම තත්ත්වය වෙනස් කිරීමට කැපවී සිටින බව ද සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව නැංවීමේ අභියෝගය..
1960 සහ 1970 දශකවලින් පසුව මෙරට රාජ්‍ය සේවය සහ ආයතනික පද්ධතිය බිඳ වැටීමකට ලක්ව ඇති බව විවේචනය කළ අමාත්‍යවරයා, රාජ්‍ය ආයතන කරා පැමිණෙන සාමාන්‍ය පුරවැසියා මුහුණ දෙන ප්‍රමාදයන් සහ දූෂිත ක්‍රියාවන් වහාම නතර විය යුතු බව අවධාරණය කළේය.

“තවමත් සමහර රාජ්‍ය ආයතනවල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. ගොඩක් අය රස්තියාදු වෙනවා. පුරවැසියාට ලැබෙන පිළිගැනීම මදියි. මෙම තත්ත්වය වෙනස් කිරීම නව පත්වීම්ලාභීන්ගේ වගකීමක්,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ස්ථාන මාරුවීම් සඳහා බලපෑම්වලට ඉඩක් නැත..

රැකියාවට ඇතුළත් වන අවස්ථාවේදීම ඇතැම් පිරිස් තමන්ට අවශ්‍ය සේවා ස්ථානයන් ඉල්ලා බලපෑම් කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පළමු පත්වීම ලැබෙන ස්ථානයේ උපරිම සේවයක් සැපයීම රාජ්‍ය සේවකයෙකුගේ මූලික ලක්ෂණය විය යුතු බව සිහිපත් කළේය. පත්වීම් ලැබුණු වහාම ස්ථාන මාරුවීම් ලබාගැනීමේ අරමුණින් අමාත්‍යවරුන් හමුවීමට පැමිණීමෙන් වළකින ලෙසද ඔහු දැඩිව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සර්වේයර් ජනරාල් පී.කේ.එල්.එස්. පඩුවාවල මහත්මිය ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

Latest News

error: Content is protected !!