(Lakvahini) – ශ්‍රී ලංකාවේ සිය තෙවසරක රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යාමට නියමිත, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් අතර නිල හමුවක් ඊයේ (02) පැවැත්විණි.
කොළඹ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙරටින් පිටව යාමට පෙර පවත්වන ලද සමුගැනීමේ හමුවක් ලෙස සටහන් වේ.
පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය මෙහිදී යොමු විය. එහිදී නියෝජ්‍ය මහ කොමසාරිස් පාණ්ඩේ මහතා ඉටුකළ රාජ්‍යතාන්ත්‍රික දායකත්වය ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය.
විශේෂයෙන්ම, මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය රජය දැක්වූ කඩිනම් දායකත්වය සහ ඒ සඳහා නියෝජ්‍ය මහකොමසාරිස්වරයා පෞද්ගලිකව මැදිහත් වෙමින් ඉටුකළ කාර්යභාරය ද ටිල්වින් සිල්වා මහතා මෙහිදී කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කළේය.
