කුවේට් ගුවන් තොටුපළේ ප්‍රහාරය! තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් 3ක්

(Lakvahini) – මධ්‍යම පෙරදිග කලාපයේ පවතින සටන් විරාම එකඟතා බිඳ දමමින් ඉරානය, කුවේටය සහ බහරේනය ඉලක්ක කර එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්තයකට බරපතල හානි සිදුව ඇති අතර, ඉන් එක් අයෙකු මියගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද වන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම වර්ධනයත් සමඟ වොෂින්ටනයේ දේශපාලන නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයට එරෙහිව ඒකපාර්ශ්විකව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති බලය සීමා කිරීමේ විශේෂ යෝජනාවක් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී (House of Representatives) ඊයේ සම්මත විය.

ගුවන් තොටුපළ ප්‍රහාරය සහ ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය..

කුවේට් ගුවන් තොටුපළේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ පෑ ශ්‍රී ලාංකිකයින් තිදෙනා, ප්‍රහාරයෙන් බිඳ වැටුණු වීදුරු කැබලි වැදීමෙන් හිසට තුවාල ලබා ඇති බව වාර්තා වේ. කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

“ප්‍රහාරයේ ශබ්දය ඇසෙත්ම ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් තිබෙනවා. කඩා වැටුණු වීදුරු පතන අතරින් දිව යාමේදී ඔවුන්ගේ ආරක්ෂිත හිස්වැසුම් (Helmets) ගැලවී යාම නිසා තිදෙනාගේම හිසට තුවාල සිදුවුණා. කෙසේ වෙතත්, දුමාරය පැතිර යාමට පෙර ඔවුන් පර්යන්තයෙන් ඉවතට පැමිණ ගිලන් රථ මඟින් රෝහලට ඇතුළත් කර තිබෙනවා,” යැයි තානාපති නිලධාරියා සඳහන් කළේය. කලාපයේ පවතින තත්ත්වය හමුවේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද තානාපති කාර්යාලය දැනුම් දෙයි.

කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කරන්නේ මෙය තමන් එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි. කුවේට් ගුවන් තොටුපළ ආරක්ෂා කිරීමට ස්ථාපිත කර ඇති ඇමෙරිකානු “පේට්‍රියට්” (Patriot) මිසයිල ආරක්ෂණ පද්ධතියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඉරානය පවසයි.

වොෂින්ටනයේ දේශපාලන අර්බුදය සහ ට්‍රම්ප්ගේ ස්ථාවරය..

කලාපීය ආරක්ෂාව මෙලෙස සසල වෙද්දී, ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉදිරිපත් කළ, ජනාධිපතිවරයාගේ හමුදා ක්‍රියාමාර්ග සීමා කිරීමේ යෝජනාව පක්ෂව ඡන්ද 215 ක් සහ විපක්ෂව ඡන්ද 200 ක් ලබා ගනිමින් සම්මත විය. මෙහිදී ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද යෝජනාවට පක්ෂව ඡන්දය දීම විශේෂත්වයකි. එහෙත්, මෙම පනත් කෙටුම්පත රිපබ්ලිකන් බහුතරය සහිත සෙනෙට් මණ්ඩලයේදී (Senate) පරාජයට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (The Wall Street Journal) පුවත්පත වාර්තා කළේ, ඉදිරියේදී ඉරාන ප්‍රහාරයකින් එකදු ඇමෙරිකානු සෙබළෙකු හෝ මියගියහොත් වත්මන් සටන් විරාමය මුළුමනින්ම අවලංගු කිරීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කර ඇති බවයි.

එසේ වුවද, ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඉරානය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවයි.

“සාකච්ඡා ඉතාමත් යහපත් මට්ටමකින් ඉදිරියට යනවා. දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිවෙමින් පවතින අතර, ඉදිරි සති අන්තය වන විට අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි මම අපේක්ෂා කරනවා,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ..

මේ අතර, මධ්‍යම පෙරදිග කලාපයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව (US State Department) නිවේදනය කළේය.

මෙම එකඟතාව සිදුව ඇත්තේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල දේශසීමා වෙත එල්ල කරන ප්‍රහාර මුළුමනින්ම නැවැත්වීමේ පදනම මතය. ඊශ්‍රායලයේ ප්‍රධාන කොන්දේසියක් වී ඇත්තේ දකුණු ලෙබනනයේ ලිතානි ගඟට (Litani River) දකුණින් පිහිටි, දැනට ඊශ්‍රායල පාලනයේ පවතින කලාපයෙන් සියලුම හිස්බුල්ලා සටන්කාමීන් ඉවත් කර ගැනීමයි.

එම දේශසීමා කලාපයේ ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් ඉවත් කර, එහි පාලනය ලෙබනන රජයේ නිල හමුදාව (Lebanese Armed Forces) වෙත පැවරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ඇමෙරිකානු රජය මෙහිදී එකඟතාව පළ කර ඇත.

Latest News

error: Content is protected !!