බේරෙන්න බැරි වූ ජීවිත 12ක්… අඟුරුවාතොට ගින්නෙන් හෙළිවන සංවේදී තොරතුරු

(Lakvahini) – අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මානසික ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ පෞද්ගලික රැඳවුම් මධ්‍යස්ථානයක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති.

බදාදා (03) පස්වරු 5:10 ට පමණ “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” නම් මෙම මධ්‍යස්ථානයේ ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී විවිධ වයස් කාණ්ඩවල පසුවන මානසික ආබාධ සහිත පුද්ගලයින් 71 දෙනෙකු එහි රැඳී සිට තිබේ.

ප්‍රදේශවාසීන් සහ හොරණ ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර, පොලිසිය සහ අසල්වාසීන් එක්ව පුද්ගලයින් 50 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත්ව ඇත.

ගින්න නිවා දැමීමෙන් පසු ගොඩනැගිල්ල තුළ තිබී පිළිස්සී මියගිය 10 දෙනෙකුගේ දේහයන් සොයාගැනුණි.

පිළිස්සුම් තුවාල සහිතව බේරාගත් පුද්ගලයින් 8 දෙනෙකු වහාම රෝහල්ගත කළද, ඉන් එක් අයෙකු එදිනම රාත්‍රියේත්, තවත් අයෙකු බ්‍රහස්පතින්දා (04) උදෑසනත් ජීවිතක්ෂයට පත්විය.

තුවාල ලැබූ ඉතිරි 6 දෙනා මේ වන විට හොරණ සහ ගල්පාත රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවේ.

ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණ අද උදෑසන එම ස්ථානයේදී පැවැත්විණි.

කෙසේ වෙතත්, මධ්‍යස්ථානයේ පාලකයින් නොමැති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති අතර, එහි සිටි ඇතැම් නේවාසිකයින් දම්වැල් දමා බඳිනු ලැබ සිටි බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. නේවාසිකයෙකුගේ ඥාතියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඇතැම් පිරිස් දම්වැල්වලින් නිදහස් කිරීමට නොහැකි වීම හේතුවෙන් අනතුරේ බිහිසුණු බව වැඩි වූ බව ගම්වැසියන් ප්‍රකාශ කළ බවයි.

ප්‍රදේශවාසියෙකුගේ ප්‍රකාශය: “මේකේ නැවතිලා ඉන්න කට්ටිය මගේ යාළුවෝ වගේ. කකුල්වලට දංවැල් දාලා තිබිලා තියෙන්නේ. මේ වෙලාවේ නිවාසයේ පාලකයෝ ඉඳලා නැහැ. දංවැල් ගලවලා තිබ්බා නම් තව පිරිසක් බේරගන්න තිබ්බා කියලා ගමේ අය කියනවා.”

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්) සම්පත් තුයියකොන්තා සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ත කොට්ටහච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කළහ.

නිරුපද්‍රිතව මුදාගත් පිරිස ඊයේ රාත්‍රියේ බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව රඳවා තැබුණු අතර, අද පස්වරුවේ ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙනත් සුරකුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, “දැනට නිරුපද්‍රිතව ඉන්න මේ කණ්ඩායම රැකබලා ගැනීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරමින් ඉන්නේ. රෝහලෙන් අපිට ආරංචි වුණා එක්කෙනෙක් මියගියා, අනිත් හත් දෙනෙක් හොරණ රෝහලෙත් එක්කෙනෙක් ගල්පාත රෝහලෙත් ඉන්නවා. ඒ අයත් දැනට රෝහල විසින් රැකබලා ගන්න බවයි.”

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුරුවාතොට පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Latest News

error: Content is protected !!