දේශප්‍රේමය, ආදරය සහ යුද්ධය එකට ගෙනෙන “මම තනියම” සිනමා ගමන ඇරඹෙයි!

(Lakvahini) – ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, සිනමාකරුවෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන රොහාන් වැලිවිටගේ නවතම සිනමා නිර්මාණය වන “මම තනියම” චිත්‍රපටයේ මුහුරත් උත්සවය (3) දා කොළඹදී පැවැත්විණි.
 
මෙම උත්සවය කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේදී සංවිධානය කර තිබූ බව සංවිධායකයෝ පැවසූහ.
 
දේශප්‍රේමය, ආදරය සහ යුද්ධයේ සමාජයීය බලපෑම් කේන්ද්‍ර කරගත් මෙම චිත්‍රපටය සඳහා ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ දක්ෂ තාක්ෂණික ශිල්පීන් රැසක් දායකත්වය ලබා දෙති.
 
චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනය චන්දන සමරසේකර විසින් සිදු කර ඇති අතර, විධායක නිෂ්පාදනය ශ්‍රවන් වැලිවිට විසින් භාරගෙන ඇත.
 
කැමරා අධ්‍යක්ෂණය තිස්සලීප තඹවිට විසින් සිදු කරන අතර, කලා අධ්‍යක්ෂණය චන්දන නිශාන්ත පීරිස් විසින් ද, සංස්කරණ කටයුතු අනුෂ ජයවර්ධන විසින් ද සිදු කරනු ලබයි. සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් සිදු කරන අතර, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර සහ අංග රචනය සම්පත් රණසිංහ විසින් සිදු කරනු ලැබේ.
 
චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය අනෝමා වැලිවිටගේ වන අතර, නිෂ්පාදන කළමනාකරණය දිප්ති වීරසූරිය විසින් සිදු කරනු ලබයි.
 
“මම තනියම” චිත්‍රපටයේ ප්‍රධාන සහ සෙසු චරිත සඳහා අකලංක ප්‍රභාෂණ, දුමී වන්නිආරච්චි, රිවාඩි වීරක්කොඩි, නිමල් පල්ලේවත්ත, නෙත්මි නානායක්කාර, යාමිණි ජයලත්, කුමාර කරුණානන්ද සහ සුදර්ශනී ගැලනිගම ඇතුළු නළු නිළියෝ රැසක් එක්ව සිටිති.
 
නිෂ්පාදන කණ්ඩායමට අනුව, චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරි සතිවලදී කොළඹ සහ බකමූණ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

Latest News

error: Content is protected !!