(Lakvahini) – ශ්‍රී ලංකාවේ නිරූපණ සහ රූ රැජිණ තරග ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් පැවැත්වූ “Queens of Sri Lanka” තරගාවලියේ ජයග්‍රාහිකාවන් අතරින් ඉදිරියට පැමිණි නවෝදා කාවින්දි, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම් වන බව පවසයි.
මෙම තරගාවලිය Miss Tourism, Miss Teen Tourism, Mr Tourism සහ Noble Queen යන ප්‍රධාන තරග හතරක එකතුවක් ලෙස සංවිධානය කර තිබූ අතර, එහි අවසන් මහ තරගය පසුගියදා කොළඹ වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විණි.
තරගාවලියේ සංවිධායක සහ පුහුණුකරු චරිත් ගුණසේකර පැවසුවේ, සාම්ප්‍රදායික රූ රැජිණ තරගවලින් වෙනස් වූ සංකල්පයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි. නිරූපණය, අධ්‍යාපනය සහ විලාසිතා සංදර්ශන එකම වේදිකාවකට ගෙන ඒම එහි විශේෂත්වයක් වූ බව ද ඔහු සඳහන් කළේය.
තරගයේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් නවෝදා කාවින්දි කියා සිටියේ, මෙය තම ජීවිතයේ දිගුකාලීන සිහිනයක් සැබෑ වූ අවස්ථාවක් බවයි.
“මේක මගේ ලොකු හීනයක්. අද ඒ හීනය සැබෑවක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මගේ දෙමාපියන්, සහෝදරයන්, මගේ සමීපතමයන් සහ විශේෂයෙන්ම මගේ ගුරුවරයාට මම ස්තූතිවන්ත වෙනවා,” ඇය පැවසුවාය.
නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමාජයේ පවතින ඇතැම් වැරදි මතයන් හේතුවෙන් බොහෝ තරුණියන් පසුබට වුවද, නිවැරදි මගපෙන්වීම සහ විනය යටතේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යා හැකි බව ඇය අවධාරණය කළාය.
පුහුණුකරු චරිත් ගුණසේකර පෙන්වා දුන්නේ, රූපලාවන්‍යය පමණක් රූ රැජිණක් බිහිකිරීමට ප්‍රමාණවත් නොවන බවයි. විනය, පෞරුෂය, දැනුම, ගෲමින් සහ වේදිකා හැකියාවන් යන කරුණු සියල්ලම එකට එක්වීමෙන් සම්පූර්ණ තරගකාරියක් නිර්මාණය වන බව ඔහු පැවසීය.
“පැජන්ට් එකට මුලින් එන කෙනා සහ අවසානයේ සිටින කෙනා අතර විශාල වෙනසක් තිබෙනවා. අපි මුලින්ම ගොඩනඟන්නේ විනය. ඒක තමයි සාර්ථකත්වයේ පදනම,” ඔහු සඳහන් කළේය.
මෙවර තරගාවලියේ ජයග්‍රාහිකාවන්ට විශේෂ අවස්ථාවක් හිමිව ඇත්තේ, ජාත්‍යන්තර Tourism Pageant තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වීම හේතුවෙනි. ඒ අනුව, විදේශගත නොවීම තම මව්බිමේ සිටම ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත.
චරිත් ගුණසේකර පවසන පරිදි, ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියක් ශ්‍රී ලංකාව සත්කාරක රටක් ලෙස පවත්වන පළමු අවස්ථාව මෙය විය හැකි අතර, එය මෙරට සංචාරක කර්මාන්තය සහ නිරූපණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර වේදිකාවට ගෙන යාමට වැදගත් පියවරක් වනු ඇත.
මේ අතර, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලිය සඳහා දැඩි පුහුණුවීම්වල නිරතව සිටින බව නවෝදා කාවින්දි පැවසුවාය.
“ශ්‍රී ලංකාවේ ඉඳන්ම මගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න ලැබීම ලොකු වාසනාවක්. ඒ වගේම මේ අවස්ථාව ලංකාවට තවත් ජයග්‍රහණයක් ගෙන ඒමට මම උපරිමයෙන් සූදානම් වෙනවා,” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට පිවිසෙන නවෝදා කාවින්දිගේ ඉදිරි ගමන, මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
