පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව

(Lakvahini) – නීතිඥවරයකු, කතුවරයකු සහ LGBTQ+ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන කෞෂාල් රණසිංහ සිය නවතම කෘතිය “මන්දස්මිත” හරහා සිය ජීවිතයේ අඳුරුම අත්දැකීම්, ළමා වියේ ලිංගික අපයෝජනය, සමාජ අපවාද සහ ශ්‍රී ලංකාවේ ලිංගික විවිධත්වය පිළිබඳ අභියෝගයන් ගැන විවෘතව අදහස් පළ කළේය.

කැලුම් විජේසූරියගේ YouTube වැඩසටහනකට එක්වෙමින් කෞෂාල් පැවසුවේ, වයස අවුරුදු 10 ක් පමණ වූ සමයේ තමන් ලිංගික අපයෝජනයකට ලක් වූ බවත්, එම සිදුවීම පිළිබඳ කතා කිරීමට හෝ එය වටහා ගැනීමට පවා එම වයසේ දරුවකුට හැකියාවක් නොතිබූ බවත්ය.

“පහ වසරේ ළමයෙක් තමන්ට ලිංගිකව සිදුවූ දෙයක් කොහොමද කියන්නේ? ඒ වගේ දේවල් ගැන කතා කරන්නවත්, තේරුම් ගන්නවත් අපිට අධ්‍යාපනයක් තිබුණේ නැහැ,” ඔහු පැවසීය.

එම අත්දැකීමෙන් පසු පාසල් ජීවිතයේදී හැසිරීම් වෙනස්වීම් ඇති වූ බවත්, අවසානයේදී ගුරුවරියකගේ මැදිහත්වීම මත සිද්ධිය හෙළිදරව් කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

කෞෂාල් වැඩිදුරටත් චෝදනා කළේ, එවකට සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය තුළින් පොලිසිය පිළිබඳ විශ්වාසයක් තමන් තුළ ගොඩනැගී නොමැති බවයි. වින්දිත දරුවෙකු සමඟ කටයුතු කිරීමේදී අවශ්‍ය සංවේදීභාවය සහ අවබෝධය නොපෙන්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔහුගේ කෘතිය සහ සම්මුඛ සාකච්ඡාව තුළ තවත් ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ LGBTQ+ ප්‍රජාව මුහුණ දෙන සමාජ හා නීතිමය අභියෝගයන්ය. තම ලිංගික දිශානතිය වෙනස් කිරීමට උත්සාහ කළ කාල පරිච්ඡේදයක් පිළිබඳ සඳහන් කළ ඔහු, “පරිවර්තන චිකිත්සාව” (Conversion Therapy) ලෙස හඳුන්වන ක්‍රමවේදයන් විද්‍යාත්මක පදනමකින් තොර බවත්, ලොව බොහෝ රටවල් ඒවා තහනම් කර ඇති බවත් පැවසීය.

“දරුවෙකුගේ ලිංගික දිශානතිය වෙනස් කරන්න උත්සාහ කිරීමෙන් ඔහු හෝ ඇය තමා ගැනම වෛර කරන, සමාජයෙන් ඈත් වූ පුද්ගලයෙකු බවට පත් විය හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සමාජ හා පවුල් පීඩනය හේතුවෙන් LGBTQ+ පුද්ගලයන් අතර මානසික පීඩනය සහ සියදිවි නසාගැනීම් දක්වා ගමන් කරන අවස්ථා පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය. එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන නායකයන්, ආගමික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් වගකීම භාරගත යුතු බව ඔහුගේ අදහස විය.

කෙසේ වෙතත්, තම ජීවිතයේ ශක්තිමත්ම ආධාරකය වූයේ තම පවුල බව කෞෂාල් අවධාරණය කළේය. විශේෂයෙන්ම තම මව, පියා සහ සහෝදරියන් දෙදෙනා ලබාදුන් පිළිගැනීම සහ සහයෝගය නිසා තමන්ට විවෘතව ජීවත් වීමට හැකි වූ බව ඔහු පැවසීය.

“තමන්ව පිළිගන්න, අහගෙන ඉන්න, ආරක්ෂා කරන පවුලක් ලැබීම ජීවිතයේ ලොකු වාසනාවක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මන්දස්මිත” කෘතිය, කෞෂාල් රණසිංහගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහයන්, මානව හිමිකම් ගැටලු සහ ලිංගික විවිධත්වය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට උත්සාහ කරන කෘතියක් ලෙස සැලකේ.

Latest News

error: Content is protected !!