රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නිකුත් කරන ලද පුරවැසි සහතිකයක් නොමැති බව අභියාචනාධිකරණයට පසුගිය 14 වන දින දැනුම් දී තිබෙනවා.
ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් කියා සිටියේ තමන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව රහස් පොලිසියට කළ ප්‍රකාශයේදී ඩයනා ගමගේ විසින්ම පිළිගෙන ඇති බවයි.
ඩයනා ගමගේට තම දෙපාර්තමේන්තුව පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව විගමන හා ආගමන පාලක ජනරාල්වරයා සිය දිවුරුම් ප්‍රකාශයේ පිළිගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු බව පවසමින් CID යට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් ඇය 2014 වසරේදී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැර දැමූ බවත් ෆාරිස් මහතා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
2022 ඔක්තෝම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයේ දී ගමගේ කියා සිටියේ ඇය ඇත්ත වශයෙන්ම තම මවගෙන් පැවත එන බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් 2014 දී ඇය සිය පුරවැසිභාවය අත්හැර දැමූ බවත්ය.
ෆාරිස් මහතා මෙහිදී සඳහන් කළේ ඩයනා ගමගේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දිය හැකි එකම ක්‍රමය සහතිකයක් නිකුත් කළහොත් බවයි.
ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම පෙත්සම 1990 අභියාචනාධිකරණ රීති 3(1)(අ) ට අනුකූල නොවන බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින බැවින් ඇය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ප‍්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේ තීන්දුව සඳහා කල් තැබුණා.
අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න, කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති සහ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත්, ඔක්තෝබර් 4 වැනිදාට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙස පාර්ශවයන්ට නියම කළ බවත්ය.