පොලී අනුපාත සහ විනිමය අනුපාත එකම අගයක තබා ගැනීමට 2020 දී මහ බැංකුව ගත් වැරදි තීරණය රට බංකොළොත් වීමට හේතු වූ ප‍්‍රධාන කරුණු දෙක යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ශ‍්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීමේ දේශනයකට එක්වෙමින් අධිපතිවරයා මේ බව ඊයේ (16) සඳහන් කළේය.
2020 දී මහ බැංකුවේ මතය වෙනස්වීම නිසා දේශීය සහ විදේශීයව ඉල්ලුම පාලනය කරන්න මහ බැංකුවට තිබූ එම ප‍්‍රධාන උපකරණ දෙක නැතිවූ බවත් එය හරියට අත්දෙක ගැට ගසා දැමීමක් ලෙස හුවා දැක්විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ‍්‍රී ලංකා මහ බැංකු නව පනත් කෙටුම්පත ගෙන ඒම මගින් බලාපොරොත්තු වන්නේ මුදල් පාලනය කිරීම බවද ඒ මහතා කීය. මුදල් ප‍්‍රතිපත්ති මණ්ඩලය ක‍්‍රීයාත්මක වන්නේ ඒ අනුව යැයි හෙතෙම සඳහන් කළේය.
පොලී අනුපාතය සහ විනිමය අනුපාතය කෘතිමව පාලනය කර ආර්ථික වර්ධන වේගය ස්ථාවර කළ නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
සියයට පහක වැනි පොලී අනුපාතවලට ණය ලබාගෙන සියලුදෙනා සිරවී සිටිනවා. විනිමය අනුපාතය 203 තියාගෙන සිටීම නිසා අපේ සංචිත සියල්ල නැතිවී රට බංකොළොත් යැයි ප‍්‍රකාශ කිරීමට සිදුවූවා යැයිද ඒ මහතා පැවසීය.
මේ රටේ ලොකුම ණයකාරයා රජය එහෙමත් නැතිනම් රජය සතු සංස්ථායි. මේ රටේ ඉතුරු කරන අයට වඩා ණය ගන්න පිරිස වැඩි යැයිද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. ඒ වගේම විදේශ විනිමය උපයන පිරිසට වඩා විදේශ විනිමය වියදම් කරන පිරිස වැඩි බවද ඒ මහතා කීය.
ජනමත විචාරණයක් තිබ්බොත් විනිමය අනුපාතය 203 තියා ගන්න කියා බහුතරයකගේ මතය එය විය හැකි වුවත් මහ බැංකුව ගනු ලබන්නේ ජනප‍්‍රිය නොවන හරි තීරණය බවද අධිපතිවරයා එහිදී කියා සිටියේය.
මේ අතර මහ බැංකු නව පනත් කෙටුම්පත අනුව මහ බැංකුව පාලනයට පැවැති මුදල් මණ්ඩලය වෙනුවට නව මණ්ඩල දෙකක් ස්ථාපිත කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවට මහ බැංකුවට පාලක මණ්ඩලයක් සහ මුදල් ප‍්‍රතිපත්ති මණ්ඩලයක් ස්ථාපිත කෙරෙනු ඇත.
එසේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කලින් මුදල් මණ්ඩලයේ සාමාජිකයකු වුවත් නව මහ බැංකු පනත අනුව ඔහු තවදුරටත් මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් නොවන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
නව මහ බැංකු පනතින් මහ බැංකුවේ ස්වාධීනත්වය තවත් ශක්තිමත් කිරීමට විධිවිධාන යොදා ඇති බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ නව මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ ව පැවැති සම්මන්ත‍්‍රණයකදීය.
– ශ්‍යාම් නුවන් ගනේවත්ත, ශිරාන් රණසිංහ