පාලිත තෙවරප්පෙරුම නම් මානව හිතවාදියා අප අතරින් සමුගෙන ගියේ ඔහු පිළිබඳ තවත් වසර ගණනාවකට කතා කිරීමට දේ ඉතිරි කරමිනි.
සිය පුතුන් දෙදෙනාට ප්රාණ සරිව ආදරය කළ ඔහු ලොකු පුතාගේ අහිමි වීමෙන් දරුණු කඩා වැටීමක් සහ දුකක් උරුම වූ පියෙකු ලෙස අවසාන කාලය ගත කළ බව කිසිවකුට රහසක් නොවේ.
හදවත විවෘත මිනිසෙක් වූ ඔහු රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිය බාල පුතණුවන් පිළිබඳ කළ ප්රකාශයක් ද ඔහුගේ මරණෙන් පසු බොහෝ කතා බහට විවේචනයට ලක් විය.
එම ප්රකාශයෙන් කියැවුණේ ඔහු සහ පොඩි පුතු අතර වූ විරසකයකි.
ඒ පොඩි පුතා තාත්තගේ අවසන් ගමනින් දින කිහිපයකට පසු ඒ ගැන හඬ අවදි කර තිබුණේ මෙසේය.
“මම තාත්තට නොකියා වරායෙ කම්කරු රස්සාවකට ගියා. තාත්තා කැමති වුණේ මං තාත්තා එක්ක වත්තෙ වැඩ කරන් ඉන්නවට. ඒත් ඒක කරන්න බැරි වුණා අපේ ආර්ථික තත්ත්වය එක්ක. තාත්තා උපයන දේ හැමෝටම ජීවත් වෙන්න මදි. ඒකයි මං කම්කරු රස්සාවට ගියේ”
මෙය අපේ දේශපාලන ලෝකයේ කලාතුරකින් අසන්න ලැබුණ දුර්ලභම පුවතක් බව සටහන් කරමි. තාත්තලා දේශපාලනඥයන් වුණු පුතාල ගැන අප අසා ඇත්තේ ප්රවෘත්තිවල දැක ඇත්තේ හාත්පසින්ම වෙනස් කතාය. තාත්තලා දේශපාලනඥයෝ වූ කළ අප අසා ඇත්තේ ලැම්බෝගිනි ඉල්ලන පුතාලාය. රේස් පදින පුතාලය. කාලා බීලා ක්ලබ් ගිහින් ජොකා නටන පුතාලාය. වළි දාගෙන පොලිසියේ හයිය පෙන්නන පුතාලය. තාත්තලාගේ ලේකම්ලා වුණු පුතාලය. තාත්තලාගේ රෙද්දේ එල්ලී පාර්ලිමේන්තුවට ආව පුතාලය. එම ලයිස්තුව තව ගොඩක් දිග එකකි.
තාත්තා හම්බ කරන මුදල පවුලේ ආර්ථිකයට ප්රමාණවත් නැති නිසා වරායේ කම්කරු රස්සාවට ගිය දේශපාලනඥයෙකුගේ පුතෙක් අප මෑතක දී අසා නැත.
පොඩි පුතාගේ මේ කතාව පාලිත තෙවරප්පෙරුම නැවත කියවා ගැනීමට බල කිරීමකි. තෙවරප්පෙරුම අපි හිතනවාටත් වඩා ඉහළින් සිටි බව කියන්නට බල කරන කතාවකි. ඔහු කියන පරිදි ඔහු වරායේ රස්සාවට ගියේ තාත්තට හොරෙන් ය. එයට ඔහු කාගේ හෝ උදව් ඉල්ලා ගත්තේ ද තාත්තාට හොරෙනි. පොඩි පුතා තරහයි කියා තෙවරප්පෙරුමගේ හිතේ තිබූ නෝක්කාඩුවට ප්රධාන හේතුව වී ඇත්තේ ද එයයි. ඔහු වරාය රස්සාවෙ සිටි කාලය තුල කිසිවෙකුට ඔහු තෙවරප්පෙරුම සිය පුතා බව කියා නැත.
ඔහු කිසිදාක ඔහුගේ පුතුන් දෙදෙනා දේශපාලනයට කැන්දාගෙන ඒමට උත්සාහ කළ බවක් අපට මතක ද නැත. ලොකු පුතා ගැන පිරිතක් වගෙ කියන්නට පටන් ගත්තේ ද ඔහු මියගිය පසුය. පොඩි පුතා ඔහුගේ දේශපාලන මීටින්වල අප දැක නැත. ඔහුම කියන පරිදි ඔහු තාත්තාගේ දේශපාලනයට කිසි දා උදව් කර නැති අතර සමාජ වැඩවල දී ඔහුගේ හයියට ගියේය.
තෙවරප්පෙරුම ඒ අතින් අසමත් ය. අනෙක් දේශපානඥයින්ගේ දරුවන් වැජඹෙන ආකාරය බලද්දී තෙවරප්පෙරුම සිට ඇත්තේ අතිශයින් පහළ තැනකයි. ඔහු ඔහුගේ දරුවන් වෙනුවෙන් කරපු දෙයක් නැත. මෙය සපුරා වෙනස්ම කතාවකි.නැවත කියවිය යුතු කතාවකි.