වත්මන් පාලකයින් නියමිත වෙලාවට ඡන්ද තබා සාමීකාමීව සහ ගෞරවනීය ලෙස බලයෙන් ඉවත් නොවුණහොත් 2022 ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ එළවීමට පාරට බැස්ස ජනතාව නැවත පාරට බැසීමට දෙවරක් නොහිතනු ඇති බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසා තිබෙනවා.
ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මැයි රැළිය අමතමිනි.
තමා මිය ගිය බවට පුවතක් ප්‍රචාරය වන බවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි කරනතුරු මියයාමට අදහසක් නැති බව ඔහු මෙහිදී පැවසුවා.
ඉන්දියාවෙන් නලු නිලියන් ගෙන්වා මැයි රැළි පවත්වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මහින්ද, නාමල්, බැසිල් යන කිසිවකුට කම්කරු රැළි පැවැත්වීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
“මේ රටේ බදු සල්ලි වලින් හොරාකන, බෙහෙත් ටිකෙන් කොමිස් ගහන, කොමිස් ගහලා හිරේල් ගිය මන්ත්‍රීවරු ඉන්න පක්ෂ කොහොමද හිතන්නෙ තමන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනව කියල මේ රටේ දුප්පත් මිනිහගේ දිනය සමරන්න.
අද නිවුස් එකක් ගියා මම මැරුණා කියලා. NPP ආණ්ඩුවක් හදනකල් මැරෙන්න බලාපොරොත්තුවක් නෑ. අපි හැමෝගෙම බලාපොරොත්තුව ඒක.
මට මතක් වුණේ 2022 ජුලි 09. බුද්ධි අංශෙ ලොක්කෙක් කියලා තිබුණා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට 25000 ක් වත් සෙනඟ එන්නෙ නෑ කියලා. අන්තිමේ ඒ මන්දිරවල පස්සෙ දොරෙන් පැනල දුවලා නැව්වල නැගලා රටින් පලා යන තැනට වැඩ සිද්ධ වුණා.
අද ජාතික ජන බලවේගය ගැන ඉහළට තොරතුරු සපයන බුද්ධි අංශෙ මහත්වරුන්ට කියන්න ඕන අනේ ගිහින් නිවැරදි තොරතුරු දෙන්න. ඒ මිනිස්සු අනාථ කරන්න එපා. ඒ නිසා අදාළ වෙලාවට ඡන්දෙ තියලා සාමකාමීව ගෞරවය ආරක්ෂා කරගෙන ගෙදර යන්න කියලා එයාලට කියන්න. එදා ජුලි 09 පාරට බැහැපු මිනිස්සු අද ඉන්නෙ මෙතැන. ආපහු සැරයක් එන්න දෙපාරක් හිතන එකක් නෑ.”