මහ බැංකු සංශෝධන පනතේ අරමුණ ජනප‍්‍රිය දේශපාලන තීන්දු වලින් ආර්ථිකයට සිදුවන හානි වළක්වා ගැනීමයි

ශ‍්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්වූ විට බලයට පත්වන එක් එක් රජයන් එම රජයේ හෝ පක්‍ෂයේ ජනප‍්‍රියත්වය වෙනුවෙන් වැරදි සහගත හා දේශපාලන තීන්දු ගන්නා විටදී එමගින් රටේ ආර්ථිකයට සිදුවන හානි වළක්වා ගැනීමට මෙන්ම රට ආර්ථික අස්ථාවරභාවයට පත්වීම වැළැක්විය හැකි යැයි නීතිපතිවරයා ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ එක් මූලික අරමුණක් එය වන්නා සේම රටේ ආර්ථිකය හැසිරවීමේ මූලික කාර්යභාරයක් ඉටුකරන ශ‍්‍රී ලංකා මහ බැංකුවට අයුතු දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන විටදී ඒවා වළක්වා ගැනීම ද එමගින් අපේක්‍ෂා කරන්නේ යැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ එම කරුණු තහවුරු කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද විනිසුරු මඬුල්ල නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කරුණු දැක්වීය.

ශ‍්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් හතක් ඊයේ (24) ප‍්‍රීයන්ත ජයවර්ධන, කුමුදුනි වික‍්‍රමසිංහ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී දෙවන දිනටත් කැඳවිණි.

එකී පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා හා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් කරුණු දැක්වීමේදී මතුවන තාක්‍ෂණික ගැටළුවලට පිළිතුරු ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කැඳවා තිබිණි.

අධිකරණයේ අවසරය පරිදි නීතිපතිවරයා විසින් ඔහු අධිකරණයට කැඳවා තිබූ අතර උදෑසන 10.00ට පමණ අධිකරණයට පැමිණි හෙතෙම පස්වරු 3.30 පමණ වනතුරු අධිකරණයේ රැඳී සිටියේය.

එවැනි ජනප‍්‍රිය තීන්දු තීරණ නිසා රටේ ආර්ථිකයට සිදුවන අවාසිදායක තත්ත්වය වැළැක්වීම එම බැංකු පනතේ මූලික අරමුණක් වුවත් මේ වනවිට පාර්ලිමේන්තුව සතු රටේ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් වූ බලයට එමගින් කිසිදු හානියක් සිදු නොවන බවත්, ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙරසේම පාර්ලිමේන්තුවට හා රටේ විධායකට එයාකාරයෙන්ම වගකිව යුතු බවත් ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විනිසුරු මඬුල්ලට පැවසීය.

ස්වාධීන ආයතනයක් බවට ශ‍්‍රී ලංකා මහ බැංකුව පත්වුවහොත් එයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමනය කරනුයේ කුමන පිළිවෙතක් දැයි විනිසුරු මඬුල්ල ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ඒ සඳහා සුදුසු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ඇති බවය. කෙසේ නමුත් එවිට කිසිදු අයුතු බලපෑමකින් තොරව එම කටයුතු සිදුවනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්වුවත් රජයේ විගණකාධිපතිවරයාට එය විගණනය කිරීමට බලතල ඇත්තා සේම තොරතුරු දැනගැනීමේ පනතේ ප‍්‍රතිපාදනවලට ද, එය යටත් වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

එකී පනත් කෙටුම්පත සම්මත වී මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්වුවහොත් රටේ ආර්ථිකය තම අභිමතය පරිදි හැසිරවීමේ බලය එයට හිමිවන බවත් එය ඉතා හානිදායක තත්ත්වයක් වන බවත් අධිකරණයට පැවසූ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා හා ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා එබැවින් ඒ සඳහා අවසර ලබානොදෙන ලෙසට විනිසුරු මඬුල්ලෙන් දැඩිව ඉල්ලා සිටියහ.

එම පෙත්සම් විභාගය ඊයේ (24) පස්වරුවේ අවසන් කළ විනිසුරු මඬුල්ල ලබන 27 වැනිදා පස්වරු 2.00ට පෙර ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට සියළුපාර්ශ්වවලට නියෝග කළ අතර සංශෝධන ඇත්නම් ඒවා එදින අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය.

Latest News

More like this

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...

ඩොලර් මිලියන 50ක් වියදම් කර දින තුනක් මඟුල් කෑ ඇමසන් අධිපති

ඇමසන් නිර්මාතෘ, බිලියනපතියෙකු වන ජෙෆ් බෙසෝස් සිකුරාදා වැනීසියේ පැවති...

විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව...
error: Content is protected !!