ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 ක්‍රිකට් වෙන්දේසියේදී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට යෝජනා කළැයි ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවටගත් “දඹුල්ල තන්ඩර්ස්” කණ්ඩායමේ හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතික තමීම් රහමන් නමැත්තා ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (22) නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂ පනතක් මගින් බවත් විමර්ශන තවමත් අවසන්ව නොමැති බවත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නිතීඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු ඉදිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම තැනැත්තා සම්බන්ධයෙන් පෙරේදා (21) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවයි.
ඒ අනුව ඊයේ (22) පෙරවරු 10ට පමණ මෙරටින් පිටවීමට සූදානමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් සිටියදී මොහු අත්අඩංගුවට ගත් බව ද රජයේ නිතීඥ කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නා.
රජයේ නිතීඥවරයා –
ස්වාමිනි, ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිකට් වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැත්වුණා. එහි දී ක්‍රීඩා කණ්ඩායම් 06ක් එක්වුණා. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමත් ඊට එක්වුණා. එම කණ්ඩායමේ හිමිකරු තමයි මේ පුද්ගලයා. මෙම තැනැත්තා ඉකුත් අප්‍රේල් මාසයේ දී එක්තරා දිනෙක දුරකතන ඇමතුමක් ලබාගෙන තියෙනවා මෙහි පැමිණිලිකරුට. පැයකට අධික කාලයක් මොහු එම දුරකතන සංවාදයේ යෙදිලා තියෙනවා. ඒ අනුව මොහු 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ 5, 6 සහ 8 යන වගන්තිවලින් වැරදි සිදුකර තියෙනවා. මොහු කණ්ඩායමට තමන්ට ඕන අය ඇතුළත් කරගන්න ඔට්ටු දානවා. මේක හොඳින්ම පැහැදිලියි තරග පාවාදීමක් කියලා. ඒක වරදක්. පනතේ අටවැනි වගන්තියේ ඒක තියෙනවා. පනතේ හයවැනි වගන්තියේ තියෙනවා ක්‍රීඩාවක පැවැත්මට අනිසි ලෙස බලපෑම් කරන තැනැත්තකු නීති විරෝධී මෙහෙයවීම වරදක් බවට. මෙම සැකකරුගේ නියෝජිතයන් දෙදෙනකු ඉකුත් අප්‍රේල් මස 22 වැනිදා ලංකාවට එනවා. ඇවිල්ලා ෂැංග්‍රීලා හෝටලයේ දී මුණ ගැහෙනවා. එතැන මුජින් කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමයි මෙම සිද්ධියේ පැමිණිලිකරුට කතා කරන්නේ එතැනට. පසුව ඩච්බර්ගර් යුනියන් හෝටලයේ දී ආයෙත් මීට්න් එකක් තියෙනවා. ඒකට ශාම් ඉමිටෙක්වන් කියලා කෙනකුත් එනවා. මුලු තරගාවලියම දඹුල්ල තන්ඩර්ස්ලා ඔට්ටු දමන්නට අවශ්‍ය විදිහයට පාලනය කරන්න තරග පාවාදීම් සිදුවෙනවා. මේ සියලු සංවාද සියල්ල පටිගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා මොහුට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ගත්තා. ඒ අනුව මොහු විදෙස් ගතවීමට යද්දී අත්අඩංගුවට ගත්තා. පසුව මොහුගෙන් ප්‍රකාශ සටහන් කළා. ‘ඩොලර් මිලියනයක් අරගෙන මට නැවත රිටන් කරන්න කියලා මොහු කියලා තියෙනවා. තවත් මෙහි ප්‍රකාශ සටහන් කරගැනීමට තිබෙනවා. විමර්ශන අවසන් නැහැ. මොහුගේ ජංගම දුරකතන සියල්ල අත්අඩංගුවට ගත්තා. මොහුගේ කටහඬ සම්බන්ධයෙන් පරීක්ෂාවකට ඉදිරිපත් කරන්නත් අවශ්‍යයි. ඒ නිසා මොහුට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා පැමිණවිය හැකියි. ඒ හේතුවෙන් ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වෙනවා. ඒ වගේම මෙම නඩුවේ පැමිණිලිකරු ගැන අනාවරණය නොවන ලෙසට මේ නඩුවේ ගොනුව තාවකාලිකව සේප්පුගත කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ 2023 අංක 10 දරන අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව එම නියෝග නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ගොඩ්වි කුරේ මහතා –
ස්වාමිනී. මගේ සේවාදායකයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ. ඔහු වයස අවුරුදු 33ක ව්‍යාපාරිකයෙක්. ඔහු එංගලන්තයේ ක්‍රීඩා ක්ලබ් එකක හිමිකරුවෙක්. ඔහු මෙම එල් පී එල් තරගාවලිය සඳහා විශාල මුදලක් වියදම් කළා. දඹුල්ල තන්ඩර්ස් හි හිමිකරු වශයෙන් පළමු වතාවට තමයි මොහු ලංකාවට එන්නේ. එංගලන්තයේ ක්‍රීඩා හිමිකාරීත්වයක් ඇති මගේ සේවාදායකයා ලංකාවට ආවේ එල් පී එල් සභාපති අනිල් මොහාන් යන අයගේ ආරාධනයෙන්. ඔහු අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් මේකට යෙදවුවා. මොහු තරග පාවාදීම් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. තාම මේ තරග පටන් ගත්තේත් නැහැ. ඔහු මේ තරගාවලියේ ක්‍රීඩකයන්ට ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් ආදී සෑම දෙයක් සඳහාම ගිවිසුමක් ගැහුවා ශෂිකා කියන කෙනා එක්ක. එයාට මගේ සේවාදායකයා අමෙරිකානු ඩොලර් 6,000ක් දුන්නා. මේ ඔක්කෝම වැඩ කරන්නේ එයා. මම අද ලංකාවෙන් යන්න ගියේ. මම ඒවා කරන්නේ නැහැ. ඔහු වරදක් කරලා නැහැ. මේ සියලු හඬපටවල ඉන්නේ ඔය කියන ශෂිකා. මෙයා ලංකාවට ආවේ බ්‍රෑන්ඩ් නේම් එකක් ගන්න. මොහු ආයෙත් බ්‍රිතාන්‍යයට යන්න ඕන. මෙයාව රිමාන්ඩ් කළොත් ඒක ලංකාවට අපකීර්තියක්. මෙයා අපේ රටට සල්ලි ගේන්නේ. ඒ නිසා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ඉල්ලා සිටිනවා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල්තැබීමට කටයුතු කළා.