ශ්‍රී ලංකා විදේශ සේවයේ දැනට පවතින තෙවැනි ලේකම් පුරප්පාඩු සඳහා නිසි පරිදි සුදුසුකම් සපුරන ලද අපේක්ෂකයින් සිටිය දී මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් එම පුරප්පාඩු පිරවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වී තිබෙනවා.
විදේශ සේවයේ එම තනතුරුවලින් හරි අඩක් මැති ඇමතිවරුන්ගේ දරුවන්ගෙන් පිරවීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ තනතුර සඳහා නිසි පරිදි පැවැත්වු විවෘත තරඟ විභාගයකින් සමත් වු අයදුම්කරුවන් 117 ක් පමණ සිටින බවත් ඉන් 20 දෙනෙක් පමණක් මේ වන විට සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගෙන ඇති බව සඳහන් වෙනවා.
මෙම තරග විභාග ප්‍රතිථල මත 40 ක පිරිසක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දී ඇති අතර විභාගයෙන් සමත් වූවන් 20 දෙනෙකු පමණක් දැනට තෝරා ගැනීම ගැටලු සහගත තත්ත්වයකි.
ඉතිරි පුරප්පාඩු කිසිදු තරග විභාගයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව රජයේ මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගෙන් පිරවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවට බරපතල සැකයක් මතුව තිබෙනවා.
2021.04.09 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හිමිකරගත් අයැදුම්කරුවන්ට අවස්ථාව ලබාදුන් අතර, අදියර දෙකකින් පැවති ලිඛිත පරීක්ෂණයකට මෙන්ම සම්මුඛ පරීක්ෂණයකටද මුහුණදීමට ඔවුන්ට සිදුවුණා.
විභාගයේ දෙවැනි කොටසට මුහුණදීමට අවස්ථාව හිමිව තිබුණේ පළමු අදියර සමත්වූ විභාග අපේක්ෂකයන්ට පමණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ මෙකී තරග විභාගයේදී පළමු අදියර ලෙස බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය ප්‍රශ්න පත්‍රයක්ද, දෙවැනි අදියර යටතේ ලෝක තතු 1 සහ 2 ද, සාරාංශකරණය මෙන්ම ඉහළ ඉංග්‍රීසි භාෂා පරිචයක් මැන බලන භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රයකටද මුහුණදීමට එම අපේක්ෂකයන්ට සිදුව තිබුණා.
දැනටමත් විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු 106 ක් ඇති අතර සේවක හිඟය හේතුවෙන් ලොව පුරා මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, හා කොන්සල් ජනරාල් කාර්යාලවල සේවා සැපයීම ගැටලුවක්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
එවැනි වාතාවරණයක් පවතිද්දී විභාගය සමත්වූ 117 කින් 20 දෙනකුට පමණක් පත්වීම් ලබාදීමට යන්නේ, සෙසු ප්‍රමාණයම අප්‍රකට මාර්ග ඔස්සේ සැපිරීමට දැයි සැක සහිත බවද විභාගය සමත් වූවෝ පවසා තිබෙනවා.
මැති ඇමැතිවරුන් තම දරුවන් විදේශ සේවයට යොමුකරන්නේ ඒ සඳහා ලැබෙන විශාල වැටුප ඇතුළු තවත් ආකර්ෂණීය දීමනා රැසක් නිසා බවත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වීසා රහිතව ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකම මෙන්ම විවිධ වරප්‍රසාද රැසක්ද හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මෙවැනි වරප්‍රසාද ලැබ විදේශ සේවයට එක්වන ඇමැති දූ පුතුන් එම රටවලදී විදේශ සරසවි අධ්‍යාපනයේ නියැළීම, පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සහ විනෝද වීම මිස රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙන බවද ප්‍රකට කරුණකි.