ජාතික ජන බලවේගයේ රජයක් තුළ ජනාධිපතිවරයාට හිතුමතේ මහා භාණ්ඩාගරයේ ධනය පරිහරණය කිරීමේ දේශපාලන ක්‍රමය අවසන් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාරයේ ධනය ඔහුට ඕනෑ ආකාරයට පාලනය කරන බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එම විනාශය නතර කරන බවත් භාණ්ඩාගාරයේ සෑම රුපියලක්ම සාංඝික දේපොළක් සේ ආරක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.
පසුගිය 30 වන දින හිඟුරක්ගොඩ පැවැති ගොවි රැළියට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.
“මේ ආණ්ඩු සල්ලි නැහැයි කියනවා. භාණ්ඩාගාරයට එන්න තිබෙන සල්ලි හරවලා තිබෙන්නේ ඇලෝසියස්ගේ, රවි කරුණානායකගේ, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගෙදරට. අනෙක් පැත්තෙන් භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය හොරකම් කළා. අපි ඒ ධනය ඔක්කොම භාණ්ඩාගාරයට ගනිමු. භාණ්ඩාගාරයට එන ධනය පිළිබඳ සියල්ල ඔබට දැනුවත් කරන්නම්. ඒ වගේම ඒ ධනය සාංඝික දේපොළක් වගේ අපි බලා ගන්නම්.
රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ සල්ලි පිටරට යන්න වෙන්කර ගත්තා. වෙන්කර ගත්ත සල්ලි මදිවුණා කියලා ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් වෙන්කර ගත්තා ලක්ෂ 2000ක්. රට යනකොට රනිල් තනියම යන්නේ නැහැ. ඒ ධනය වියදම් කරලා කින්ස් නෙල්සන්, ස.ජ.බෙ. මාන්නප්පෙරුම, ඉෂාක් රහුමාන්, එක්කරගෙන යනවා. බෙදා ගන්නකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා එයාලාට වෙනසක් නැහැ.
මේ රට වැටිලා. රිම් එකෙන් යන්නේ. වාහන ගෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයයි, ආණ්ඩුවයි දෙගොල්ලොම එකතු වෙලා අත්සන් කරනවා වාහන පර්මිට් එකක් දෙන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පර්මිට් එක දෙන්න ඕනලු. කෝටි පහළොවකට විතර විකුණා ගන්න පුළුවන්. ආණ්ඩුවේ මන්ත්‍රීලයි, ස.ජ.බ. මන්ත්‍රීලයි බෙදා ගන්න කොට, නාස්ති කරන කොට එකට එකතු වෙලා කරනවා.
බාර් ලයිසන් දුන්නා. මන්ත්‍රීවරයා නමක් යෝජනා කරන කොට ලයිසන් එක දෙනවා, මන්ත්‍රී ගානක් ගන්නවා. මන්ත්‍රී කියනවා, ඔයා නමක් යෝජනා කරන්න, මම ලයිසන් එක දෙන්නම්, ඔයා එයාගෙන් සල්ලි ගන්න කියා. මම සජිත් පේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයෙක් හෝ ස.ජ.බ. නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ. නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ.”