අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් උපදෙස් ලබා දී තිබෙනවා.
ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අවතැන් වූ ජනතාව රඳවා සිටින අඹතලේ ගල්වාන පුරාණ රජමහා විහාරය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරය, කොළොන්නාව ටෙරන්ස් .එස්. සිල්වා විද්‍යාලයේ හා වැල්ලම්පිටිය ගාමිණී විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා ජනතාවගේ සුවදුක් විමසා බැලූ අතර ඔහුන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඒවා අඛණ්ඩව සපුරාලීමට ද නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්.
කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට ඊයේ රාත්‍රීයේ සිට ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.
ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය,ආපදා කළමනාකරණය දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයනත එක්ව සකස් කරන ලෙසද දැනුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නළ මාර්ග භාවිතා කර ගංවතුර වේගෙන් බැස යාමට සළස්වා ජනතාව නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබුවා.
එසේම ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත තාවකාලික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ද ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය සඳහා දැන් සිටම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කර දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් අර්ධ හානී සිදුවූ නිවාස සහ ගොඩනැගිලි පිළිබඳ වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව පැවසෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත, එස්.එම්.මරික්කාර්, ජනාධිපති වෘත්තීය සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Watch Lakvahini Youtube Channel ..>>