විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ද ශ්‍රී ලංකා පිලට අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමේ වාර්තාව උරුම කර දෙමින් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ (03) නිව්යෝක් නුවර පැවති තරඟයෙන් දකුණු අප්‍රිකානුවෝ කඩුලු 6ක පහසු ජයක් අත්කර ගනු ලැබුවා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවේ නායකයා ගත් තීරණය හා ශ්‍රී ලංකා පිලේ දුර්වල පිති හරඹය හේතුවෙන් ඕවර 19.1කදී ලකුණු 77කට දැවී ගිය අතර, දකුණු අප්‍රිකානු පිල ඕවර 16.2කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා
විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී මීට පෙර ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව 82ක් වූ අතර, එය වාර්තා වූයේ 2016 වසරේ ඉන්දියාවට එරෙහිව විශාකාපට්නම් පිටියේදීය.
ඊට පෙර ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 87කට දැවී ගොස් විස්සයි20 ලෝක කුසලාන තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තබනු ලැබුවේ 2010 වසරේ බටහිර ඉන්දීය දුපත්වල පැවැති තරගාවලියේදීය.
නිව්යෝක් නුවර පැවැති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වූ ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ ඉනිම ඔසවා තැබීමට කිසිදු පිතිකරුවකුට දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ
මුළු ලකුණු සංඛ්‍යාව 13දී සිය මංගල විස්සයි20 ලෝක කුසලාන ඕවරය යැවූ ඔට්නිල් බාට්මන් සිය පළමු පන්දුවෙන්ම පැතුම් නිශ්ශංක ලකුණු 3කට දවාගැනීමෙන් පසු කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම පිළිසකර කිරීමට දැඩි වෙහෙසක් ගනු ලැබුවා.
එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 31දී කමිඳු මෙන්ඩිස් දවාලූ ඇන්රිච් සිය කඩුලු දඩයම ආරම්භ කළ අතර, 9 වැනි ඕවරය යැවූ කේෂව් මහාරාජ් පිට පිට පන්දු දෙකකින් නායක වනිඳු හසරංග සහ සදීර සමරවික්‍රම ලකුණු ලැබීමටත් පෙර දවාලීමත් සමඟ ශ්‍රී ලංකා පිල දැඩි පීඩනයකට මුහුණ දුන්නා.
පළමු ඕවර 10 අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ කඩුලු 5ක්ම ලකුණු 40කට බිඳ වැටී යාම සිදු වුණේ ඒ ආකාරයටයි.
මැද පෙළ පිතිකරුවන් තිදෙනකු ද ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ඇන්රිච් නෝයේ සිය විස්සයි20 තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 7කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් වුණා.