ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකම එකතුවෙලා ඇමරිකාවේදී 77 ක් ගහනකොට සංගක්කාර එංගලන්තයේ දී තනියෙන් 50 ක් ගහයි

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් වන ඩෝසෙට් තරගාවලිය අතරතුර අර්ධ ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීමට සමත් වී තිබෙනවා.

තෙවන කාණ්ඩයේ තරගාවලියක් වූ මෙහිදී ශිලින්ග්ස්ටෝන් කණ්ඩායම සහ කින්ග්ස්ටන් ලේසි කණ්ඩායම අතර තරගයේදී ශිලින්ග්ස්ටෝන් කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කළ සංගක්කාර හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමගින් පන්දු 50කදී ලකුණු 68ක් රැස් කිරීමට සමත් වූ බව සඳහන්.

ඔහුගේ සුපිරි පිති හරඹය හමුවේ ශිලින්ග්ස්ටෝන් කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 177ක් රැස් කළ අතර ප්‍රතිවාදීන් ලකුණු 101කට සීමා කරමින් ලකුණු 76ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙහිදී කඩුලු රැකීමේ නිරත නොවූ සංගක්කාර පන්දුවාර 7ක් යොමු කරමින් ලකුණු 32කට කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වුණා.

පසුගිය වසරේදී ශිලින්ග්ස්ටෝන්හී පදිංචියට ගිය සංගක්කාර හැකි අවස්ථාවන්හිදී එම කණ්ඩායම වෙනුවෙන් තරග කිහිපයක් ක්‍රීඩා කරන බවට වූ පොරොන්දුවක් අනුව මෙලෙස ක්‍රීඩා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest News

error: Content is protected !!