ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනප්‍රිය දේශපාලන කථිකාවියක් වන නිලන්ති කොට්ටහච්චි අනේක විධ ගල්මුල් ප්‍රහාරවලට ලක් වන්නියක්.
ඇය ජාතික ජන බලවේගයට සම්බන්ධ වීමට පෙර නිල් බලකායේ සාමාජිකාවක් යන්න ඇයට මඩ ගැසීමේ අරමුණින් එල්ල කරන එවැනි එක් කතාවකි.
කොට්ටහච්චි ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සඳහා පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසයි.
“ඒ 2000 වසරයි.
එකල එහි සභාපතිවරයා නිව්ටන් ගුණරත්න නම් මහා මිනිසා විය. මා එවකට පහේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ගෝතමියට එන්නට සැරසී හුන් සමයයි. අම්මාගේ රාජකාරී ස්ථානයේ දුරකථනයට ලද ඇමතුමෙන් දැනුම් දී තිබුණේ ස්වාධීන රූපවාහිනියට ළමා වැඩසටහනකට තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට මා කැඳවා ගෙන එන ලෙස ය.
පණිවිඩය දී තිබුණේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලක නැන්දාය. ඇය ගත් කතුවර කේ. ජයතිලකයන්ගේ බිරිඳයි.
ඊට වසර දෙකකට පෙර ගුවන්විදුලියේ හඳමාමා ළමා වැඩසටනෙහි ගීයක් ගයන්නට ගිය මම ඇයගේ මතකයේ අවුරුදු දෙකක් රැඳී සිටියේ ඇයි දැයි මම පුදුම නොවෙමි.
සම්මුඛ පරීක්ෂණය දා මා අම්මා සමග ස්වාධීන රූපවාහිනියට යන විටත් පැය භාගයක් ප්‍රමාදය. සියලු දරුවන් වසන්ත මන්දිරයට රැගෙන ගොසිනි.
ප්‍රමාද වී පැමිණි මා රැගෙන යන්නට ආවේ මේ වනවිට අප අතැර ගිය කපිල ලියනගේ නිෂ්පාදකතුමයි.
ඔහු මා රැගෙන වසන්ත මන්දිරයට යනවිටත් එහි සියලු දරුවන් සිටියේ එතැන හුරුපුරුදුකාරයන් මෙනි. ඇතැමෙක් අතැති පත්‍රිකා කියවයි. ඇතැමෙක් ගී ගයයි. මා එතැනින් දැන සිටියේ සැබවින්ම සුමනා නැන්දා පමණි.
මම හිඳගතිමි. කිසිවෙක්ගේ අවධානයට මා ලක් නොවිණි.
“මම ශෝක් පුන්චි බබෙක්ව අරන් එන්න කියලා එයාගෙ අම්මට කෝල් එකක් දුන්නා. බලන්නකෝ එයා තාම ඇවිත් නෑනෙ” සුමනා නැන්දා අසළ සිටි පුද්ගලයාට (නිව්ටන් ගුණරත්න මහතාට) කියනු මට ඇසිණි.
විදුලියක් වැදුණු සේ අසුනෙන් බිමට පැන්නා මට මතකය.
මම එතැනට ගොස් හිනැහෙමින් කීවෙමි,
“නැන්දා කියන පුන්චි ශෝක් බබා මම තමයි.
මගේ අම්මාටයි නැන්දා කතා කළේ….”
කියන්නට වූයෙ එපමණකි.
මාගෙ අතින් අල්ලාගත්තේ මාගෙ පළමු නිෂ්පාදකතුමන් වන අජිත් ජයවර්ධන මාමායි.
අන් සියලු දරුවන් සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගැනෙද්දී මා ළහිරු මඬල ළමා වැඩසටහනට ආරම්භක ළමා නිවේදිකාවක් ලෙස තෝරාගැණුනේ එසේය….
එතැන් පටන් වසර විස්සක් රූපවාහිනී මහගෙදර හැදුණෙමි. වැඩුණෙමි.
රූපවාහිනී මහගෙදරට තුති පුදමි.!!!
අද යම් දුරක් දක්වා එන්නට වදනින් හෝ හදවතින්ම මා වෙනුවෙන් පෙනී සිටි, අවස්ථා සෑදූ, මා අත නොහැර අත දුන් සියලූම නැන්න්දලාට, මාමලාට, අයියලාට, අක්කලාට (නම් නොලියමි- එය අසීරු කටයුත්තකි) පින් පෙත් පුදමි.
එසේම,
මගේ කතාව නොදැන කතා ලියමින් මෙන්ම කියමින් නිල් බලකායෙන් ස්වාධීන රූපවාහිනියට ආවා යැයි කියන
නිල් බලකායට ආවැඩූවායැයි අවලාද නගන සැම වෙනුවෙන් විනාඩියක නිහැඬියාවක් පුදන්නටද අද වන් දිනෙක මම අමතක නොකරමි…”