2024 වසරේ පළමු කාර්තුව තුළ පමණක් නව ආසාදන 200කට අධික සංඛ්‍යාවක් සහ මරණ 13ක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාව HIV/ඒඩ්ස් රෝගීන්ගේ කණස්සල්ලට හේතුවන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනට අනුව, ශ්‍රී ලංකාවෙන් 2024 වසරේ (ජනවාරි සිට මාර්තු දක්වා) පළමු කාර්තුවේදී වාර්තා වී ඇති HIV/AIDS රෝගීන් 207කි.
රෝගීන් 165 ක් වාර්තා වූ 2023 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙය සියයට 25 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන සඳහන් කරනවා.
2024 පළමු කාර්තුවේ වාර්තා වූ සිද්ධීන් අතරින් වයස අවුරුදු 15-24 අතර තරුණයින් 23ක් සහ තරුණියන් පස් දෙනෙක් වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයින් බවයි සඳහන් වන්නේ.
2024 වසරේ වාර්තා වූ HIV රෝගීන්ගේ පිරිමි සහ ගැහැණු අනුපාතය 7:1 ක් බව දැක්වෙනවා.
තවද, එම කාලය තුළ HIV/AIDS ආශ්‍රිත මරණ 13ක් වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහතා පැවසුවේ 2018 වසරේ සිට HIV ආසාදිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් අඛණ්ඩව දක්නට ලැබෙන බවයි.
රෝගීන්ගේ වැඩිවීමට හේතුව පිළිබඳව විමසූ විට වෛද්‍ය ධර්මකුලසිංහ සඳහන් කළේ පරීක්ෂණ ධාරිතාවය පුළුල් වීම, ලිංගික අධ්‍යාපනය සහ අවදානම් ලිංගික හැසිරීම් පිළිබඳ ජනතාව තුළ පවතින දුර්වල දැනුම සහ අදාළ පූර්වාරක්ෂාවන් නොගැනීම මෙම රෝගීන්ගේ වැඩිවීමට හේතු විය හැකි බවයි.