පත්තර ප්‍රබල කාලේ ලංකාවේ මැතිවරණ පාලනය කළේ පත්තර මුදලාලිලාට ඕනෑ විදියට. ටීවී එක ලංකාවට ඇවිල්ලා ක්‍රමයෙන් මිනිස්සු අතර ජනප්‍රිය වෙනකොට මැතිවරණ ප්‍රතිඵලවලට සැලකිය යුතු බලපෑමක් කළේ එක්කො රාජ්‍ය මාධ්‍ය නාළිකා. එහෙමත් නැත්නම් පෞද්ගලික නාලිකා හිමිකරුවන්. මේ කාලවල ටීවී පත්තර හිමිකරුවන් එක් එක් න්‍යාය පත්‍ර හදාගෙන තමන්ට ඕනෑ රජවරු හදන්න ඔවුන්ගේ මාධ්‍ය හයිය පාවිච්චි කෙරුවා.
මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යුගයට එනකොට ටීවී පත්‍තර පසුකරගෙන බැටන් එක මාරුවෙන්නෙ සමාජ මාධ්‍යවලට. මේ වෙනකොට ලංකාවේ මැතිවරණ පාලනය කරන්නේ යූ ටියුබ්වලින්. පත්තර, ටීවී චැනල් එයාලට ඕනේ නායකයෝ හදන්න මිනිස්සුන්ව පාවිච්චි කළාට යූ ටියුබ් එකට පුළුවන් කමක් නැහැ කෙළින්ම එයාලට ඕන පාලකයෝ හදන්න.
මොකද යූ ටියුබ් කියන්නෙ අමුතුම තැනක්. ඉස්සර පත්තර සහ ටීවී චැනල් කලා වගේ මිනිස්සුන්ගේ ඔළු හෝදන්න යූ ටියුබ් එකට බැහැ. මොකද මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාව දියුණු වෙලා එයාලා පොලිටිකලි අප්ඩේට් වෙන්න පටන් අරගෙන.
යූ ටියුබ් පාලනය වෙන්නේ ඇල්ගොරිදමයකින්. ඒකට යූ ටියුබ්කරුවොත් යටයි. එතකොට යූ ටියුබ් කරුවට සිද්ධ වෙනවා ඇල්ගොරිදමය කියන වැල යන පැත්තට මැස්ස බඳින්න.
අනුර කියන අකුරු තුන, අනුරගේ පින්තූර, මාළිමාව, මාළිමාවේ ජනප්‍රිය චරිත මේ යූ ටියුබ්වල නිතර නිතර භාවිත වෙන්න පටන් ගන්නෙ ඒ විදියට. කොටින්ම කියනවා නම් මේ මොහොතේ රනිල්ට හිතවත් සමාජ මාධ්‍ය, ජනාධිපති මාධ්‍ය අංශය පවා තමන්ගේ රීච් එක හදාගන්නේ මාළිමාවෙන්.
මේ වෙනකොට ලංකාවේ සමාජ මාධ්‍ය රැල්ලේ යූ ටියුබ් චැනල් ටික මාළිමාව හා අනුර කුමාර දිසානායක වටේ නාභිගත වෙලා ඉන්නෙ මේ නිසා. සූර්යයා වටේ සෞරග්‍රහ මණ්ඩලේ වගේ කැරකුණාට මොකෝ මෙයාල එන්නෙ වෙන වෙන ගැලක්සිවලින්.
සමහරු නන්නත්තාර වෙනකල්ම රාජපක්ෂ ගැලැක්සියේ ඩීල් දදා රොකට් යව යව හිටපු උදවිය. අරගලය එක්ක පොළොවට පාත්වෙලා යාන්තම් ජාමෙ බේරගත්තු එයාලාත් මේ වෙලාවේ එල්ලිලා ඉන්නෙ මාළිමාවේ.
උපතින්ම නළුවො වුණු මෙයාලා ඇත්තටම එක පයක් අඟහරු එක පයක් පෘතුවියේ තියාගෙන දෙන ඇක්ට් එක හිතාගන්නත් අමාරුයි තමයි.
සතිපොළවල් ගාණේ කුණු ඇළවල් දිගේ මයික් උස්සන් දුවලා නුගෝගොඩත් අනුරට දෙල්කඳත් අනුරට කියන මෙම තක්කඩි යූ ටියුබ්කරුවන් කණට ගැහුව වගේ එකපාරටම “සජිත් හොඳයි කිව්වත් වැරදි – අනුර හොඳයි කිව්වත් වැරදි-එබැවින් පවසමි දෙන්නම හොඳම හොඳයි” වගේ විකාර කියවන්නේ තෝන්තුවෙන්ම නෙවෙයි.
වොයිස් කට් අරන් එයින් බහුතරය මාළිමාවට බව කියන්නෙ ඇල්ගොරිදම් එක ගැන කැරකෙන පැත්ත දන්න නිසා මිසක් ඇත්තටම අනුර දිනවන්න කියලා හීනෙන්වත් හිතන්න එපා.
අනුරගේ ෆෑන් බේස් එක තරහ කරගන්නේ නැතුව සජිත්ගේ ෆෑන් බේස් එක වැඩි කරන්න මේ යු ටියුබ් නලුවන් ගහන ගේම හිතාගන්නත් බැරි තරම්. පත්තර, ටීවී තමන්ට ඕන අපේක්ෂකයාව ගේන්න ගෙඩිය පිටින් කඩේ ගියාට යූ ටියුබ් එහෙම නෑ. එයාලා වීව්ස් ටිකත් බේරගෙන රෙජීම් චේන්ජ් කරන්න ගහන ගේම් එක මාරයි.
තවත් සමහර අන්කල්ලා මාළිමාවේ රැළියෙන් රැළියට ස්ටේජ් එක හදන තැනේ ඉඳන් වීව්ස් වෙනුවෙන් තමන්ගේ චැනල්වල පෙන්නුවට මොකෝ එයාලට හවසට කන්න දෙන්නෙ පක්ෂය දෙකට තුනට කඩාගෙන ගිහින් අද වෙනකොට වෙන වෙන කඳවුරුවල හිටගෙන ඉන්න අය.
මාධ්‍යවේදියෝ දේශපාලන විශ්ලේෂකයෝ කිව්වට මොකෝ මේ සමහර අයට department of government information Sri Lanka ආයතනයෙන් නිකුත් කළ හැඳුනුම්පතවත් නැහැ.
2010 මහින්දගේ රැල්ල, 2019 ගෝඨාභයගේ රැල්ල, මේ මොහොතේ මාළිමා රැල්ල. රැල්ල කොතනද අසූචි ගොඩක වුණත් වහන නිල මැස්සොයි මෙයාලයි අතර මහ ලොකු වෙනසකුත් නැහැ.
කුණු අවුස්සන්න අවුස්සන්න අසීමිත ආදායමක් මෙයාලගේ එකවුන්ට්වලට ගලාගෙන එනවා මාසෙට ලක්ෂ දහයේ සිට ලක්ෂ 40 දක්වා.
මේක කොච්චර දරුණුයි ද කියනවා නම් සමහර මඩ ගෑවුණු නිලධාරීන්ගේ දේශපාලනඥයන්ගේ මඩ හෝදන්න මෙයාලා කෙලින්ම ගිහින් ලක්ෂ 30, 40 ඉල්ලනවා හරියට කප්පම්කාරයෝ වගේ. බැහැ කිව්වොත් ඒ මිනිහව නැති වෙනකම් ගහන්නත් මෙයාල පසුබට වෙන්නෙ නෑ.
බොරු නම් ක්‍රිකට් බෝඩ් එකෙන් අහල බලන්න පුළුවන් එයාලට ලොකු සමාජ විරෝධයක් එනකොට කප්පම් ඉල්ලුව යූ ටියුබ් නළුවො කවුද කියන එක ගැන.
ඉතින් මේ යූ ටියුබ් අවකාශය අපි හිතන තරම් සර්ව සාධාරණ මානුෂීය හැඟීම් දෝරෙ ගලාගෙන යන තැනක් නෙවෙයි.
මේ වෙලාවේ අසීමිත ජනප්‍රියතාවක් තියෙන රැල්ල තියෙන අනුර කුමාර දිසානායක හා මාළිමාව වගේම ඒ රැල්ලට අවංකවම ආදරය කරන අය මේ අවකාශය වටේ එකතුවෙනකොට පරිස්සමෙන්.