විස්සයි 20 ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා නේපාල ක්‍රීඩකයකුට ගෙවීම රු 11,340 යි – ඉන්දියාව ගෙවන්නේ ලක්ෂ 11යි – ශ්‍රී ලංකාවේ එක් ක්‍රීඩකයෙකුට ලක්ෂ 12 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට විස්සයි 20 තරගයක් සඳහා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් 4,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 12ක්) ගෙවනු ලබද්දී නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි 20 තරගයක් සඳහා ගෙවනු ලබන්නේ නේපාල රුපියල් 5,000ක (ශ්‍රී ලංකා රුපියල් 11,340ක) මුදලක් පමණක් බව වාර්තා වෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 3ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක්) ගෙවීමක් කරනු ලබයි.

නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රීඩකයන්ට එක් එක්දින තරගයක් සඳහා ගෙවනු ලබන්නේ නේපාල රුපියල් 10,000ක (ශ්‍රී ලංකා රුපියල් 22,680) මුදලකි.

ඉන්දීය ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා රුපියල් ලක්ෂ 15ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 55ක්), එක්දින තරගයක් සඳහා රුපියල් ලක්ෂ 6ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22ක්) ගෙවයි.

එයට අමතරව විදෙස් සංචාරවලදී හෝටල් පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලට අමතරව වෙනම දෛනික දීමනාවක් ද ලබා දෙනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් දිරිගැන්වීම උදෙසා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙවීම් වැඩි කළ අතර, ඒ අනුව ක්‍රීඩකයෙකුට දින පහේ ටෙස්ට් තරගයක් සඳහා හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 15,000ක්. (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 44ක්)

ඉන්දියාව හා ශ්‍රී ලංකාව මෙන් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව කාණ්ඩ තුනකට බෙදා ඇති බව සඳහන්.

ඇ ශ්‍රේණියේ ක්‍රීඩකයන්ට නේපාල මුදලින් වසරකට රුපියල් 720,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 16ක්) ගෙවද්දී ඉන්දියාවේ ඇ ශ්‍රේණියේ ක්‍රීඩකයකුට වසරකට ඉන්දීය රුපියල් කෝටි 7ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 26ක්) ගෙවනු ලබයි. ශ්‍රී ලංකාවේ ඇ ශ්‍රේණියේ ක්‍රීඩකයකුට වසරකට අමෙරිකානු ඩොලර් ලක්ෂයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3ක්) හිමි වෙනවා.

නේපාල ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තය සමඟ තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබූ අතර නේපාලය මීළඟ තරගය අනිද්දා (12) ශ්‍රී ලංකාව සමඟ තරග වැදීමට සූදානමින් සිටිනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...