ක්‍රිකට් පරිපාලකයන්ගේ කාලය දෙගුණයක් කරන ගැසට් එකක් එයි

2024 විස්සයි20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව ලැබෙන බව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ පවසා තිබෙනවා.

‘‘පසුගිය වසරේ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ගෙනාවා. එහිදී පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා ක්‍රිකට් පාලක මණ්ඩලය සම්පුර්ණයෙන්ම විසුරුවා හැරිය යුතු බව. ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කරන්නේ ව්‍යාජ ක්‍රිඩා සමාජ හරහා බව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. ලංකාවේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන්නේ ක්‍රිඩා සමාජ 13 ක් වගේ ප්‍රමාණයක්. නමුත් ව්‍යාජ ක්‍රීඩා සමාජ හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයට නොසුදුසු පුද්ගලයන් පත්කරගැනීම පිළිබඳව විපක්ෂය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ තිබෙන අක්‍රමිකතා, වංචා , දූෂණ පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව හරහා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

2024 T20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාවේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයට තවත් අවුරුදු 8 ක් ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ කටයුතු කිරිමට හැකි වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පත් වෙන්නේ වසර දෙකක කාලයකට. අවශ්‍යනම් තවත් අවුරුදු දෙකකින් ඔවුන්ගේ කාලය දීර්ඝ කරන්න හැකියාව තිබෙනවා. එවිට ඔවුන්ගේ උපරිම ධූර කාලය වසර 4 යි. වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ධූර කාලය අවසන් වන්නේ 2025 මාර්තු මාසයේ.
නමුත් ක්‍රිඩා ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට 2025 මාර්තු මාසයේදී ඉදිරි වසර 4 කට නිල වරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබෙන අතර ඒ කාලය අවසන් වූ පසු තවත් අවුරුදු 4 ක් එම ධූරවල කටයුතු කළ හැකියි. එවිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල කාලය වසර 8 ක් දක්වා දීර්ඝ වෙනවා.

අධිකරණය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ වාර්තාව වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. ආණ්ඩුව චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන බවත් , ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගන්න ක්‍රීඩා සමාජ අඩු කරන බවත් සඳහන් කළා. නමුත් 2024 T20 ලෝක කුසලානය පැවැත්වෙන කාල වකවානුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල කාලය වසර 8 ක් දක්වා ඡන්දය ඉල්ලන්න පුලුවන් ආකාරයට ගැසට් නිවේදය සකස් කරලා තිබෙනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා දැනටමත් වසර 6 ක් එම ධූරයේ ඉදලා තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හඳන්න ඒ කාලය හොඳටම ප්‍රමාණවත්. 2024 T20 ලෝක කුසලානයේ වෙන දේවල් දැක්ම ඉතාමත් පැහැදිලියි ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ගනුදෙනු කරලා තිබෙන්නේ ක්‍රිකට් ගොඩගන්න නෙවයි. තවමන්ගේ තනතුරු ආරක්ෂා කර ගන්න.

ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා කාලය ලබාදෙන්නේ වසර 4 ක් හෝ 5 ක්. නමුත් ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ නිලධාරි මණ්ඩලයට අවුරදු 6 ක කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කරලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු වර්ධනයක් සිදුවෙලා නෑ. ඔවුන්ට ආත්ම ගරුත්වයක් තිබෙනවානම් ඔවුන් ඉල්ලා අස්විය යුතුයි. නමුත් වර්තමාන ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ නිලධාරි මණ්ඩලය තව දුරටත් ආරක්ෂා කරන්න කටයුතු කරලා තිබෙනවා.

පාර්පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු දෙනා ප්‍රකාශ කළා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින්න කියලා. නමුත් සිදුකළේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයාව ධූරයෙන් ඉවත් කිරිම. ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් තිබුණා. ඒ පරික්ෂණ සියල්ල යට ගැහුවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් ගන්න සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා.

ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කරලා එම ධූර වලින් ඉවත් වුණාට පස්සේ තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස ඔහුට කටයුතු කරන්න පුලුවන්.

ඒ වගේම ආණ්ඩුව ක්‍රිකට් පරිපාලනය පිළිබඳව සොයාබලන්න කැබිනට් ඇමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාවක් තවම ලැබුණේ නෑ. හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙක් විදිහට මමත් ඒ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නා. මම ඉල්ලිමක් කළා චිත්‍රසේන වර්තාව ක්‍රියාත්මක කරන්න කියලා.

ඒ වගේම පළාත් ක්‍රිකට් සංගම් වල ඉන්නේ හිටපු ඇමැතිවරු හෝ මන්ත්‍රීවරු. මධ්‍යම පළාත් ක්‍රිඩා සංගමයේ සභාපති මධ්‍ය පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයා. ලේකම්වරයාගේ ධුර කාලය අවුරුදු 25 ක්. සෑම පළාතකම ක්‍රිකට් සංගම් වල ප්‍රධානියා දේශපාලන බලවතුන්. ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් ලැබුණාම මේ පිරිස තමයි ඒ මුදල් ලබා ගන්නේ. මේක දැවැන්ත මාෆියාවක් වෙලා තිබෙන්නේ. රජයට අවශ්‍ය වන්නේ මෙවැනි දූෂිත පුද්ගලයන් මේ තනතුරු වල තබාගෙන මැතිවරණවලට සහාය ලබාගන්න. මේ හරහා සිදුවන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කබලෙන් ලිපිට වැටීමක්. ඉදිරියේදී පැමිණෙන සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් මේ ගැසට් නිවේදන සියල්ල අහෝසි කරන්න කටයුතු කරනවා. ‘‘

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...