ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අද (26) පවත්වනු ලබන විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් ඇතුළු වෘත්තිය සමිති නායකයින් රැසකට කොළඹ ප්‍රදේශ ගණනාවකට ඇතුළු වීම මෙසේ තහනම් කර තිබෙනවා.
අදාළ නිවේදනයට අනුව එම තහනම පනවා ඇති වග උත්තරකරුවන් මෙසේය.
- ජෝශප් ස්ටාර්ලින්, ලංකා ගුරු සංගමයේ ලේකම්
- මහින්ද ජයසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්.
- ආර්.පී.අමිල සඳරුවන්, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ උප ලේකම්.
- වාස් ගුණවර්ධන, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති.
- පූජ්‍ය උලපනේ සුමංගල හිමි, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති.
- මයුර සේනානායක, ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම්.
- පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති. 8. පී.එම්.පුංචි හෙට්ටි, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සභාපති.
- මොහාන් පරාක්‍රම වීරසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය.
ඒ අනුව ඉහත නම් සඳහන් අය සහ ඔවුන්ගේ සාමාජිකයින් හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත 2024.06.26 වන අද දින පැය 1000 සිට පැය 1800 අතර කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හන්දියේ සිට NSA වටරවුම දක්වා මාර්ගයේද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාරද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම වලකින ලෙස දැනුම් දී තිබෙනවා.
සන්දේශ භාර දීම සඳහා ඉතා සුළු කණ්ඩායමකට පමණක් වගකිවයුතු රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව ලබා ගත් අවසරයක් මත ඇතුළු වීමට මෙය බාධාවක් නොවන බවත්, පොදු හා පුද්ගලික දේපල වලට හානි නොකරන ලෙසටත් අධිකරණ ආඥාවක් ද නිකුත් කර ඇති බව සඳහන්.